1 කොරින්ති 12:1-14
1 කොරින්ති 12:1-14 NRSV
සහෝදරවරුනි, ශුද්ධාත්ම දීමනා ගැන නියම තතු ඔබ දැන සිටිනවාට මම කැමැත්තෙමි. ඔබ මිසදිටුවන් ව සිටිය දී, හදිසි පෙළඹීම්වලට අසු වී, ගොළු දේවතා පිළිම වෙත ඇදී ගිය හැටි ඔබ දන්නහු ය. එබැවින්, දේවාත්මයාණන් කරණකොටගෙන කතා කරන කිසිවෙකු ‘ජේසුස් වහන්සේ සාප ලත් කෙනෙකැ’යි නොකියන බව ද, ශුද්ධාත්මයාණන් කරණකොටගෙන මිස “ජේසුස් වහන්සේ සමිඳාණන් වහන්සේ ය”යි කීමට කිසිවෙකුට නොහැකි බව ද මම ඔබට තරයේ කියා සිටිමි. විවිධාකාර දීමනා ඇතත්, සිටින්නේ එක ම ශුද්ධාත්මයාණෝ ය. විවිධාකාර සේවා ඇතත්, සිටින්නේ එක ම සමිඳාණන් වහන්සේ ය. විවිධාකාර දේව බල ක්‍රියා කරතත්, සිටින්නේ සියල්ලන් තුළ ක්‍රියා කරන එක ම දෙවියන් වහන්සේ ය. අන්‍යොන්‍ය යහපත සඳහා එකිනෙකාට ආත්මයාණන්ගේ ප්‍රකාශවීමක් දී ඇත. කෙනෙකුට ආත්මයාණන් මඟින් උවදෙස් දීමේ ප්‍රඥාව ද, තවත් කෙනෙකුට එම ආත්මයාණන් මඟින් ම ධර්මය පහදා දීමේ ඥානය ද දී ඇත. අන් කෙනෙකුට ආත්මයාණන් තුළ විශ්වාසය ද, එම ආත්මයාණන් තුළ තවත් කෙනෙකුට සුව කිරීමේ වරම ද දී ඇත. තවත් කෙනෙකුට හාස්කම් කිරීමේ බලය ද, තවත් කෙනෙකුට දිවැසි වැකි කීමේ බලය ද, තවත් කෙනෙකුට ආත්ම විමසීමේ හැකියාව ද තවත් කෙනෙකුට අන් භාෂාවලින් කතා කිරීමේ පුළුවන්කම ද තවත් කෙනෙකුට එය පහදා දීමේ ශක්තිය ද දී ඇත. මේ සියලු දීමනා, තමන් කැමැති පරිදි, වෙන් වෙන් වශයෙන් එකිනෙකාට බෙදා දෙන්නේ එක ම ආත්මයාණන් වහන්සේ ය. මනුෂ්‍ය ශරීරයෙහි බොහෝ අවයව තිබුණත් ඒ අවයව විවිධාකාර වුවත් ඒ සියල්ල එක ම ශරීරයක් වන්නාක් මෙන් ක්‍රිස්තුන් වහන්සේත් එක ම ශරීරයක් වන සේක. මන්ද, ජුදෙව්වරුන් හෝ ග්‍රීකයන් හෝ වේවා, වහලුන් හෝ නිදහස් අය හෝ වේවා, අපි සියල්ලෝ ම එක ම ආත්මයාණන් තුළ එක ම ශරීරයක් වන ලෙස, බව්තීස්ම-ස්නාපනය ලැබීමු. අපි සියල්ලෝ ම එක ම ආත්මයාණන්ගෙන් පානය කර සිටිමු. ශරීරය එක අවයවයක් නොව බොහෝ අවයවවලින් යුක්ත වූවකි.

