ප්‍රේම ගී 1:1-11

ප්‍රේම ගී 1:1-11 SROV

සාලමොන්ගේ උතුම් ගීතිකාවය. ඔහු තමාගේ මුඛයේ සිඹීම්වලින් මා සිඹීවා. මක්නිසාද නුඹේ ප්‍රේමය මුද්‍රිකපානයට වඩා හොඳය. නුඹේ විලවුන් මිහිරි සුවඳින් යුක්තය; නුඹේ නාමය වැගිරෙවු විලවුන් මෙන්ය; එබැවින් කන්‍යාවෝ නුඹට ප්‍රේමකෙරෙති. මා ඇදගන්න; අපි නුඹ අනුව දුවන්නෙමුව. රජ තමාගේ ඇතුල් ගෙවලට මා පැමිණෙවුවේය. අපි නුඹ කෙරෙහි ප්‍රීති සන්තෝෂවන්නෙමුව, මුද්‍රිකපානයට වඩා නුඹේ ප්‍රේමය සඳහන්කරන්නෙමුව. ඔවුන් නුඹට ප්‍රේමකරනවා හරිය. යෙරුසලමේ දූවරුනි, මම කේදාර්හි කූඩාරම් මෙන් කළු නුමුත්, සාලමොන්ගේ තිර මෙන් ශෝභනව සිටිමි. අව්ව මා පිට වැටීමෙන් මා කළුවී සිටින නිසා, මා දෙස බලානොසිටින්න; මාගේ මවුගේ පුත්‍රයෝ මට කෝපවී, මිදිවතු බලාගන්ට මට නියමකළෝය; මාගේම මිදිවත්ත මම බලා නොගතිමි. මාගේ ආත්මය ප්‍රේමකරන තැනැත්ත, නුඹේ රැළට කවන්නේ කොහේද? ඉරමුදුන් වේලේ උන් ලග්ගවන්නේ කොහේද කියා මට දන්වන්න. නුඹේ යහළුවන්ගේ රැළවල් ළඟ මුහුණ වසාගත්තියෙකු මෙන් සිටින්ට ඕනෑ මන්ද? ස්ත්‍රීන්ගෙන් ඉතා රුව ඇත්තිය, නුඹ නොදන්නෙහි නම්, රැළේ අඩිපාරේම ගොස්, එඬේරුන්ගේ කූඩාරම් ළඟ නුඹේ එළු පැටවුන්ට කවන්න. මාගේ සොඳුර, ඵාරාවෝගේ රථවල අශ්වධේනුවකට නුඹ සමානකෙළෙමි. නුඹේ කම්මුල් හිසකේ ගෙතීම්වලින්ද නුඹේ බෙල්ල මැණික් මාලාවලින්ද ශෝභනව තිබේ. රිදී පොහොට්ටු ඇති රන් මාලා නුඹට සාදා දෙන්නෙමුව.

ප්‍රේම ගී 1:1-11 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය