රෝම 14

14
සිත්හි යම් අමාරුකම් ඇත්තන් ගැන ඉවසිල්ල දැක්වීම
1ඇදහිල්ලෙන් දුර්වල තැනැත්තා පිළිගන්න, එහෙත් සැක සහිතවූ වාදකිරීමට නොවේය. 2සියලු දේ කන්ට පුළුවනැයි එක්කෙනෙක් විශ්වාසකරන්නේය; නුමුත් දුර්වල තැනැත්තේ එලවලු පමණක් කන්නේය. 3කන තැනැත්තා නොකන තැනැත්තා සුළුකොට නොසිතාවා; නොකන තැනැත්තාද කන තැනැත්තා විනිශ්චය නොකෙරේවා. මක්නිසාද දෙවියන්වහන්සේ ඔහු පිළිගත්සේක. 4අනිකෙකුගේ වැඩකාරයා විනිශ්චයකරන්නාවූ නුඹ කවුද? ඔහු සිටියත් වැටුණත් ඒක අයිති තමාගේම ස්වාමියාටය. එසේය, ඔහු සිටුවනු ලබන්නේය; කුමක් හෙයින්ද ඔහුව සිටුවන්ට ස්වාමීන්වහන්සේට බලය ඇත්තේය. 5එක්කෙනෙක් එක දවසකට වඩා වෙන දවසක් උතුමැයි සිතන්නේය. වෙන කෙනෙක් සියලු දවස්ම එකාකාරයයි සිතන්නේය. එක් එක්කෙනා තම තමාගේ සිතින් නිසැකව සිටීවා. 6දවස සලකන්නා ස්වාමීන්වහන්සේ උදෙසා ඒක සලකන්නේය. කන තැනැත්තාද දෙවියන්වහන්සේට ස්තුතිකරන බැවින් කන්නේ ස්වාමීන්වහන්සේ උදෙසාය. නොකන තැනැත්තාත්, ස්වාමීන්වහන්සේ උදෙසා නොකා සිට දෙවියන්වහන්සේට ස්තුතිකරන්නේය. 7මක්නිසාද අපෙන් කිසිවෙක් තමාම උදෙසා ජීවත්වෙන්නේ නැත, කිසිවෙක් තමාම උදෙසා නසින්නෙත් නැත. 8මක්නිසාද ජීවත්වෙමු නම් ස්වාමීන්වහන්සේ උදෙසා ජීවත්වෙමුව; නසිමු නම් ස්වාමීන්වහන්සේ උදෙසා නසිමුව. ඒ නිසා ජීවත්වෙතත් මැරෙතත් අපි ස්වාමීන්වහන්සේගේය. 9මක්නිසාද ක්‍රිස්තුස්වහන්සේ නැසුණෙත් නැවත ජීවත්වුණෙත් මළවුන්ගේද ජීවතුන්ගේද ස්වාමීන්වහන්සේ වන පිණිසය. 10එසේනම් නුඹ නුඹේ සහෝදරයා විනිශ්චයකරන්නේ මක්නිසාද? නොහොත් නුඹ නුඹේ සහෝදරයා කුමක් පිණිස සුළුකොට සිතන්නෙහිද? මක්නිසාද අපි සියල්ලෝම දෙවියන්වහන්සේගේ විනිශ්චයාසනය ඉදිරියෙහි පෙනී සිටින්නෙමුව. 11මක්නිසාද:
මා ජීවත්ව සිටිනු සැබෑවා සේම සෑම දණහිස් මට නමන්නේය, සෑම දිව්ද දෙවියන්වහන්සේට ප්‍රශංසාකරන්නේය කියා ස්වාමීන්වහන්සේ කියනසේකැයි
ලියා තිබේ. 12එහෙයින් අප එක් එක්කෙනා තම තමා ගැන දෙවියන්වහන්සේට ගණන්දෙනවා ඇත.
13එබැවින් අපි තවත් එකිනෙකා විනිශ්චය නොකරමු නුමුත් අනික් අතට තමාගේ සහෝදරයා ඉදිරියෙහි පැකිලීමට හේතුවක්වත් බාධාවක්වත් නොතබන්ට නිශ්චයකරගන්න. 14යමෙක් යම් දෙයක් අපවිත්‍රයයි සිතන්නේ නම් එය ඔහුට අපවිත්‍රවා මිස, ස්වභාවෙන්ම අපවිත්‍ර දෙයක් නැතැයි ස්වාමිවූ යේසුස්වහන්සේ කරණකොටගෙන ඒකාන්තයෙන්ම දනිමි. 15කෑම නිසා නුඹේ සහෝදරයා දුකට පැමිණේ නම්, නුඹ තවත් ප්‍රේමයෙන් යුක්තව හැසිරෙන්නේ නැත. යමෙකු නිසා ක්‍රිස්තුස්වහන්සේ මළසේක්ද ඔහු නුඹේ කෑමෙන් විනාශ නොකරන්න. 16එබැවින් නුඹලාට තිබෙන යහපත ගැන අගුණ කියනු නොලබාවා. 17මක්නිසාද දෙවියන්වහන්සේගේ රාජ්‍යය කෑමත් බීමත් නොව, ධර්මිෂ්ඨකමද සමාදානයද ශුද්ධාත්මයාණන් තුළ ප්‍රීතියද වේ. 18කුමක්හෙයින්ද ඒ කාරණාවලින් ක්‍රිස්තුස්වහන්සේට සේවයකරන අය දෙවියන්වහන්සේට ප්‍රසන්නවූද මනුෂ්‍යයන් විසින් යහපතැයි ඒත්තු ගන්නාවූද කෙනෙක්ය. 19එබැවින් අපි සමාදානය උපදවන කාරණාද එකිනෙකා වැඩිදියුණුකරන්ට පුළුවන් කාරණාද අනුව යමු. 20කෑම නිසා දෙවියන්වහන්සේගේ වැඩේ නාස්ති නොකරන්න. සියලු දේම පවිත්‍රය; නුමුත් බාධා උපදවන ලෙස කන මනුෂ්‍යයාට නපුරය. 21කෑමෙන්වත් මුද්‍රිකපානය බීමෙන්වත් වෙන යමකින්වත් නුඹේ සහෝදරයා බාධාවට පැමිණේද, එය නොකර සිටීම හොඳය. 22නුඹට තිබෙන ඇදහිල්ල දෙවියන්වහන්සේ ඉදිරියෙහි නුඹටම තබාගන්න. තමා විසින් යහපත්ය කියා පිළිගන්නාවූ කාරණය ගැන තමාට දෝෂ පමුණුවා නොගන්නාවූ තැනැත්තා වාසනාවන්තය. 23නුමුත් සැකකරමින් කන තැනැත්තා, ඇදහිල්ලෙන් යුක්තව නොකන බැවින්, වරදට පත්කරනු ලැබ සිටියි; ඇදහිල්ලෙන් නොවූ සියල්ල පාපයය.

දැනට තෝරාගෙන ඇත:

රෝම 14: SROV

සළකුණු කරන්න

බෙදාගන්න

පිටපත් කරන්න

None

ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න