එළිදරව් 2:1-17

එළිදරව් 2:1-17 SROV

එපීසයෙහි සභාවේ දූතයාට මෙසේ ලියන්න: තමන් දකුණතෙහි තාරකා සත දරන්නාවූද, රන් පහන් රුක් සත මැද සක්මන්කරන්නාවූද තැනන්වහන්සේ මේ කාරණා කියනසේක. එනම්, නුඹේ ක්‍රියාවල්ද, නුඹේ වැඩ සහ ඉවසීමද, නුඹ නපුරන් නුරුස්සන බවද, ප්‍රේරිතයන් නොවන නුමුත් තුමූ ප්‍රේරිතයෝය කියන්නන් නුඹ සෝදිසිකර බලා ඔවුන් බොරුකාරයන්යයි නුඹ දැනගත් බවද, ඉවසිල්ලෙන් යුක්තව මාගේ නාමය නිසා දුක් උසුලා ක්ලාන්ත නොවූ බවද දනිමි. නුමුත් නුඹේ පළමු ප්‍රේමය අත් හැරියෙහිය යන කාරණය නුඹට විරුද්ධව මට ඇත්තේය. එබැවින් නුඹ වැටී සිටින්නේ කොතැනින්දැයි සිහිකොට, පශ්චාත්තාපව, පළමු ක්‍රියාවන් කරන්න; නැතහොත් මම නුඹ ළඟට ඇවිත්, නුඹ පශ්චාත්තාප නොවෙනවා නම්, නුඹේ පහන් රුක ස්වකීය ස්ථානයෙන් අහක්කරන්නෙමි. නුමුත් මේක නුඹට ඇත්තේය, එනම්, මා ද්වේෂකරන නිකොලායිතයන්ගේ ක්‍රියාවලට නුඹත් ද්වේෂකරන්නෙහිය. ආත්මයාණන්වහන්සේ සභාවලට කියන දේ කන් ඇත්තේ අසාවා. ජයගන්නාට නම් දෙවියන්වහන්සේගේ පාරාදීසයෙහි තිබෙන ජීවන වෘක්ෂයෙන් කන්ට දෙන්නෙමි. තවද ස්මර්ණයෙහි සභාවේ දූතයාට මෙසේ ලියන්න: පළමුවෙනියාද අන්තිමයාද වන, මැරී ජීවත්වුණාවූ තැනන්වහන්සේ මේ කාරණා කියනසේක. එනම්, මම නුඹේ පීඩාවද දිළිඳුකමද දනිමි (නුමුත් නුඹ ධනවත්ය), යුදෙව්වන් නොවන නුමුත් තුමූ යුදෙව්වෝයයි කියන සාතන්ගේ සිනගෝගයක්ව සිටින්නන්ගේ අපහාසයද දනිමි. නුඹ විඳින්ට යන දේවලට භය නොවන්න. බලව, නුඹලා විමසනු ලබන පිණිස යක්ෂයා නුඹලාගෙන් සමහර දෙනෙකුන් හිරගෙයි දමන්ට යන්නේය; නුඹලා දස දවසක් පීඩා විඳින්නහුය. මරණය දක්වා විශ්වාසව සිටින්න, එවිට මම ජීවනයේ ඔටුන්න නුඹට දෙන්නෙමි. ආත්මයාණන්වහන්සේ සභාවලට කියන දේ කන් ඇත්තේ අසාවා. ජයගන්නාට නම් දෙවෙනි මරණයෙන් අනතුරු නොවන්නේය. තවද පර්ගමම්හි සභාවේ දූතයාට මෙසේ ලියන්න: දෙමුවහත් තියුණු කඩුව ඇත්තාවූ තැනන්වහන්සේ මේ කාරණා කියනසේක. එනම්, නුඹ වාසයකරන ස්ථානය දනිමි, එනම් සාතන්ගේ සිංහාසනය තිබෙන තැනය. නුඹ මාගේ නාමය තදින් අල්ලාගන සිටින බවද සාතන් වාසයකරන ස්ථානයෙහිදී නුඹලා අතරෙහි මරනු ලැබූ මාගේ විශ්වාස සාක්ෂිකාරවූ අන්තිපස්ගේ දවස්වලදීවත් මා කෙරෙහි ඇදහීම අත් නොහැරිය බවද දනිමි. එහෙත් දේවතා රූපවලට පිදූදේ කන්ටත් වේශ්‍යාකම්කරන්ටත් ඉශ්‍රායෙල් පුත්‍රයන් ඉදිරියෙහි බාධාවක් තැබීමට බාලාක්ට ඉගැන්වූ බාලාම්ගේ ඉගැන්වීම දරන්නන් ඔතැන නුඹ ළඟ සිටින බැවින් නුඹට විරුද්ධව කියන්ට කරුණු ස්වල්පයක් මට තිබේ. මෙසේ නිකොලායිතයන්ගේ ඉගැන්වීම දරන්නොත් ඒ ආකාරයෙන්ම නුඹට සිටිති. එබැවින් පශ්චාත්තාපවෙන්න; නැතහොත් මම ඉක්මනින් නුඹ ළඟට ඇවිත්, මාගේ මුඛයේ කඩුවෙන් ඔවුන්ට විරුද්ධව සටන්කරන්නෙමි. ආත්මයාණන්වහන්සේ සභාවලට කියන දේ කන් ඇත්තේ අසාවා. ජයගන්නාට නම් සැඟවී තිබෙන මන්නාවලින් දෙන්නෙමි, ලබන්නා මිස වෙන කිසිවෙක් නොදන්න අලුත් නාමයක් ලියා තිබෙන සුදු ගලක්ද ඔහුට දෙන්නෙමි.