එළිදරව් 19:1-10

එළිදරව් 19:1-10 SROV

මින්පසු ස්වර්ගයෙහි සිටින මහත් සමූහයකුගේ හඬ මෙන් මහත් හඬක් මට ඇසුණේය. ඔව්හු කථාකොට: හෙලලූයා! ගැළවීමද මහිමයද බලයද අපගේ දෙවියන්වහන්සේට අයිතිය. මක්නිසාද උන්වහන්සේගේ විනිශ්චයෝ සැබෑය, ධර්මිෂ්ඨය; මක්නිසාද ඇගේ වේශ්‍යාකමින් පොළොව කිලුටුකළ මහත් වේශ්‍යාව උන්වහන්සේ විනිශ්චයකළසේක, තමන්ගේ මෙහෙකරුවන්ගේ ලේ ගැන ඈට විපාක දුන්සේකැයි කීවෝය. දෙවෙනි වරක්ද ඔව්හු: හලෙලූයා කියති. ඇගේ දුම සදාකාලේටම නගින්නේය. වැඩිමහල්ලන් විසිසතරදෙනාද ජීවමාන සත්වයන් සතරදෙනාද වැටී: ආමෙන්, හලෙලූයා කියමින් සිංහාසනයේ වැඩහිඳින දෙවියන්වහන්සේට නමස්කාරකළෝය. තවද: අපේ දෙවියන්වහන්සේගේ සියලු මෙහෙකරුවෙනි, උන්වහන්සේට භය ඇති ලොකු කුඩා සියල්ලෙනි, උන්වහන්සේට ප්‍රශංසාකරන්නැයි කියන ශබ්දයක් සිංහාසනයෙන් නික්මුණේය. එවිට මහත් සමූහයකුගේ හඬ මෙන්ද බොහෝ ජලඝෝෂාවක් මෙන්ද බලවත් ගර්ජනාවල ශබ්දය මෙන්ද හඬක් මට ඇසුණේය. එනම්: සර්වපරාක්‍රමවූ අපගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ රජකම්කරන බැවින්, හලෙලූයා. අපි අතිශයෙන් ප්‍රීති සන්තෝෂවෙමු, උන්වහන්සේට ගෞරවය දෙමු. මක්නිසාද බැටළුපැටවාණන්ගේ සරණමංගල්‍යය පැමිණියේය, උන්වහන්සේගේ භාර්යාවද සූදානම්ව සිටින්නීය යනුයි. දීප්තිමත්වූ පවිත්‍රවූ සිහින් වස්ත්‍රයෙන් පැළඳෙන්ට ඈට ලැබුණේය. සිහින් වස්ත්‍ර නම් ශුද්ධවන්තයින්ගේ ධර්මිෂ්ඨ ක්‍රියාය. තවද: බැටළු පැටවාණන්ගේ සරණමංගල්‍ය කෑමට කැඳවනලද්දෝ වාසනාවන්තයෝය කියා ලියන්නැයි ඔහු මට කීවේය. මේවා දෙවියන්වහන්සේගේ සැබෑ වචනයයිද ඔහු මට කීවේය. මම ඔහුට නමස්කාරකරන පිණිස ඔහුගේ පාමුල වැටුණෙමි. ඔහුද: එසේ නොකරන්ට බලාගන්න. මම නුඹේද යේසුස්වහන්සේගේ සාක්ෂිය දරන නුඹේ සහෝදරයන්ගේද හවුල් මෙහෙකරුවෙක්ය. දෙවියන්වහන්සේට නමස්කාරකරන්න. මක්නිසාද, යේසුස්වහන්සේගේ සාක්ෂිය අනාගතවාක්‍යයේ ආත්මයයයි මට කීවේය.

එළිදරව් 19:1-10 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය