එළිදරව් 13:1-8

එළිදරව් 13:1-8 SROV

අං දසයක්ද හිස් සතක්ද ඇත්තාවූ මෘගයෙක් මුහුදෙන් මතුවෙනවා දුටිමි, උගේ අං පිට ඔටුනු දසයක්ද උගේ හිස්වල අපහාස නාමවල්ද තිබුණේය. මා දුටු මෘගයා අඳුන්දිවියෙකුට සමානය, උගේ පාද වළසෙකුගේ පාද වැනිය, උගේ කට සිංහයෙකුගේ කට වැනිය. මහ සර්පයා තමාගේ පරාක්‍රමයත් තමාගේ සිංහාසනයත් මහත් බලයත් ඌට දුන්නේය. මැරෙන තරමට උගේ හිස්වලින් එකකට තුවාලවී තිබෙන්නාක්මෙන් පෙනුණේය; නුමුත් උගේ මරණීය තුවාලය සුවවිය. මුළු ලෝකයා මෘගයා පස්සේ පුදුමව ගියෝය; මහ සර්පයා මෘගයාට බලය දුන් නිසා ඔව්හු මහ සර්පයාට නමස්කාරකළෝය; ඔව්හු මෘගයාටත් නමස්කාරකොට: මෘගයාට සමාන කවුද? ඌ හා සමඟ යුද්ධකරන්ට කවරෙකුට හැකිදැයි කීවෝය. අහංකාර දේවල්ද දේව අපහාසද කථාකරන මුඛයක් ඌට දෙනලද්දේය. මාස සතළිස් දෙකක් පවතින්ට ඌට බලය දෙනලද්දේය. එකල ඌ දෙවියන්වහන්සේට විරුද්ධව අපහාසකරන පිණිසද උන්වහන්සේගේ නාමයට සහ උන්වහන්සේගේ මණ්ඩපයටත්, එනම් ස්වර්ගයෙහි වාසය-කරන්නන්ටත් අපහාසකරන පිණිසද මුඛය ඇරියේය තවද ශුද්ධවන්තයන්ට විරුද්ධව යුද්ධ කරන්ටද ඔවුන්ගෙන් ජයගන්ටද ඌට ඉඩ දෙනලද්දේය. සියලු ගෝත්‍රයන්ද සෙනඟද භාෂාවන්ද ජාතීන්ද කෙරෙහි ඌට බලය දෙනලද්දේය. ලෝකය පටන්ගැන්මේ සිට මරනලද බැටළුපැටවාණන්ගේ ජීවනපොතෙහි නම් ලියවී නොතිබුණු පොළොවෙහි වසන සියල්ලෝ ඌට නමස්කාරකරන්නෝය.