ගීතාවලිය 18:7-18

ගීතාවලිය 18:7-18 SROV

එවිට පොළොව සෙලවී කම්පාවූවාය, කඳුවල අත්තිවාරම්ද දෙදරා සෙලවුණේය, මක්නිසාද උන්වහන්සේ උදහස්වූසේක. උන්වහන්සේගේ නාස්පුටවලින් දුමක් නැංගේය, උන්වහන්සේගේ මුඛයෙන් ගිනි නික්ම විනාශකෙළේය. එයින් අඟුරු ඇවිළගත්තේය. උන්වහන්සේ අහස නමාගන බැස්සසේක; උන්වහන්සේගේ පාද යට ඝනාන්ධකාරය විය. උන්වහන්සේ කෙරුබයෙක් පිට නැඟී පියාසරකළසේක, එසේය, උන්වහන්සේ සුළඟ නමැති පියාපත් මතුයෙහි වේගයෙන් ගමන්කළසේක. උන්වහන්සේ අන්ධකාරය තමන්ට ආවරණයක්ද, ජලධාරාවල අන්ධකාරය සහ ආකාශ ඝන වලාකුල් තමන් වටකොට මණ්ඩපයක්ද කරගත්සේක. උන්වහන්සේ ඉදිරියෙහිවූ දීප්තිය නිසා උන්වහන්සේගේ ඝන වලාකුල් පහව ගියේය; ගල්වැසිද ගිනි අඟුරුද විය. ස්වාමීන්වහන්සේ අහසෙහි ගර්ජනා කළසේක, මහෝත්තමයාණෝද තමන් හඬ නිකුත්කළසේක; ගල්වැසිද ගිනි අඟුරුද විය. උන්වහන්සේ තමන් ඊගස් විද ඔවුන් විසිරවූසේක; එසේය, බොහෝ විදුළි එවා ඔවුන් පරාජයකළසේක. එවිට ස්වාමිනි, ඔබගේ තරවටුකිරීමෙන්ද ඔබගේ නාසා වාත වේගයෙන්ද ජල පාරවල් ප්‍රකාශවුණේය, ලෝකයේ අත්තිවාරම්ද ප්‍රකාශවිය. උන්වහන්සේ උඩින් අත පොවා මා අල්වාගත්සේක; බොහෝ ජලධාරාවලින් මා ඇදගත්සේක. උන්වහන්සේ මාගේ බලවත් සතුරාගෙන්ද මට වෛරවූවන්ගෙන්ද මා මුදාගත්සේක, මක්නිසාද ඔව්හු මට වඩා බලසම්පන්න වූය. ‍ මගේ විපත්ති දවසේදී ඔව්හු මට විරුද්ධව ආවෝය. නුමුත් ස්වාමීන්වහන්සේ මට ආධාරවූසේක.