ගීතාවලිය 107:31-43

ගීතාවලිය 107:31-43 SROV

ස්වාමීන්ගේ යහපත්කම හා මනුෂ්‍ය පුත්‍රයන්ට කරන පුදුම ක්‍රියා ගැන මනුෂ්‍යයෝ උන්වහන්සේට ස්තුති කෙරෙත්වා. ඔව්හු ජන සමාගමේදී උන්වහන්සේ උසස්කරමින්, වැඩිමහල්ලන්ගේ ආසනයේදී උන්වහන්සේට ප්‍රශංසාකෙරෙත්වා. උන්වහන්සේ ගංගා කාන්තාරයක්ද දිය උල්පත් වියළි බිමක්ද කරනසේක; වැසියන්ගේ දුෂ්ටකම නිසා සාරවූ දේශය ලවණ කාන්තාරයක් කරනසේක. උන්වහන්සේ කාන්තාරයක් දිය පොකුණක්ද වියළි බිමක් දිය උල්පත්ද කරනසේක. බඩගිනිවූවන් විසින් වාසයට යෝග්‍යවූ නුවරක් සාදන පිණිසත්, කෙත් වපුරා, මිදිවතු වවා, ඵල ලබාගන්නා පිණිසත්, ඔවුන් එහි වාසයකරවනසේක. ඔවුන් අතිශයින් බෝවන ලෙස උන්වහන්සේ ඔවුන්ට ආශීර්වාදකරනසේක; ඔවුන්ගේ සිව්පාවුන් අඩුවෙන්ට නොදෙනසේක. ඉන්පසු ඔව්හු පීඩා, විපත්ති හා දුක් නිසා අඩුවී පහත්කරනු ලබති. උන්වහන්සේ අධිපතීන් කෙරෙහි නින්දාව වගුරුවා, මං නැති පාළු තැන්වල මුළාවයන්ට සලස්වනසේක. එහෙත් උන්වහන්සේ දිළිඳා පීඩාවෙන් මුදා උසස්කොට, බැටළු රැළක් මෙන් ඔහුගෙන් පවුල් උපදවනසේක. අවංකයෝ ඒ දැක සන්තෝෂවන්නෝය; සියලු ආකාර අයුතුකමද කට පියාගන්නේය. නුවණැත්තේ මේ දේ සිතට ගනියි, ඔව්හු ස්වාමීන්ගේ කරුණාවන්තකම් කල්පනාකරන්නෝය.