ගීතාවලිය 105

105
ඉශ්‍රායෙල් උදෙසා දෙවියන්වහන්සේ කළ පුදුම ක්‍රියා
1 ස්වාමීන්ට ස්තුතිකරව්.
උන්වහන්සේගේ නාමය කියා යාච්ඤාකරව්.
මනුෂ්‍ය වර්ගයන් අතරේ උන්වහන්සේගේ ක්‍රියා ප්‍රකාශකරව්.
2උන්වහන්සේට ගීතිකාකරව්, ප්‍රශංසා ගී කියව්;
උන්වහන්සේගේ සියලු ආශ්චර්යමත් ක්‍රියා ගැන කථාකරව්.
3උන්වහන්සේගේ ශුද්ධවූ නාමය ගැන පාරට්ටුකරගනිව්.
ස්වාමීන් සොයන්නන්ගේ සිත ප්‍රීතිමත්වේවා.
4 ස්වාමීන් හා උන්වහන්සේගේ ශක්තිය සොයව්;
උන්වහන්සේගේ මුහුණ නිතරම සොයව්.
5උන්වහන්සේගේ මෙහෙකරුවූ ආබ්‍රහම්ගෙන් පැවත එන්නෙනි, උන්වහන්සේ විසින් තෝරාගත්තවුන් වන යාකොබ්ගේ දරුවෙනි,
6උන්වහන්සේ කළ පුදුම ක්‍රියාද උන්වහන්සේගේ ආශ්චර්යයන්ද උන්වහන්සේගේ මුඛයෙන් නික්මුණු විනිශ්චයන්ද සිහිකරව්.
7උන්වහන්සේ අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේය.
උන්වහන්සේගේ විනිශ්චයෝ මුළු පොළොවෙහිය.
8උන්වහන්සේ පරම්පරා දහසකට ආඥා කළ වචනය වන ස්වකීය ගිවිසුම සදාකාලයට සිහිකළසේක.
9ඒ වනාහි උන්වහන්සේ ආබ්‍රහම් සමඟ කළ ගිවිසුමය, ඊසාක්ට දුන් උන්වහන්සේගේ දිවුරුමය;
10එය උන්වහන්සේ යාකොබ්ට පනතක්ද ඉශ්‍රායෙල්ට සදාකාල ගිවිසුමක්ද කොට ස්ථිරකරමින්:
11නුඹලාගේ උරුම කොටස වූ කානාන් දේශය නුඹට දෙන්නෙමියි කියා,
12ඔවුන් ගණනින් ස්වල්පව, එසේය, ඉතා ස්වල්පව, එහි විදේශීව සිටියදී ඔවුන්ට කීසේක.
13ඔව්හු ජාතියකින් ජාතියකටත් එක රාජ්‍යයකින් තවත් සෙනඟක් වෙතටත් ගියෝය.
14උන්වහන්සේ ඔවුන්ට අයුත්තක් කරන්ට කිසිවෙකුට අවකාශ නුදුන්සේක;
එසේය, ඔවුන් ගැන රජුන්ට තරවටුකරමින්:
15මාගේ අභිෂේකලද්දවුන්ට අත නොගසව්, මාගේ අනාගතවක්තෘවරුන්ට හිංසා නොකරව්යයි කීසේක.
16උන්වහන්සේ දේශයට දුර්භික්ෂයක් පමුණුවා, මුළු ආහාර වෘත්තිය සිඳදැමූසේක.
17ඔවුන්ට පෙරටුව මනුෂ්‍යයෙකු යැවූසේක;
යෝසෙප් දාසයෙක් කොට විකුණන ලද්දේය.
18ඔව්හු ඔහුගේ පාද විලංගු ලා රිදෙවුවෝය;
ඔහු යදම්වලින් බඳිනලද්දේය.
19ඔහුගේ වචනය සිදුවන තෙක් ස්වාමීන්ගේ වාක්‍යය ඔහු පරීක්ෂාකෙළේය.
20රජතෙම මනුෂ්‍යයන් යවා ඔහු මිදුවේය;
එසේය, මනුෂ්‍ය වර්ගයන්ගේ ආණ්ඩුකාරයා ඔහු නිදහස්කර ඇරියේය.
21තමාගේ ආණ්ඩුකාරයන් කැමතිලෙස බඳින්ටත්, තමාගේ මන්ත්‍රීන්ට නුවණ දෙන්ටත්,
22තමාගේ ගෙට ස්වාමියෙක්ද තමාගේ සියලු සම්පත්තියට අධිපතියෙක්ද කොට ඔහු පත්කෙළේය.
23ඉශ්‍රායෙල්ද මිසරයට ආයේය;
යාකොබ් හාම්ගේ දේශයෙහි විදේශීව සිටියේය.
24උන්වහන්සේ ස්වකීය සෙනඟ අතිශයින් වැඩිකරමින්, ඔවුන්ගේ එදිරිකාරයන්ට වඩා බලවත්කළසේක.
25උන්වහන්සේගේ සෙනඟට වෛරකරන්ටත් උන්වහන්සේගේ මෙහෙකරුවන්ට ප්‍රයෝගකරන්ටත් ඔවුන්ගේ සිත් හැරෙවුසේක.
26උන්වහන්සේ ස්වකීය මෙහෙකරුවූ මෝසෙස්ද තමන් විසින් තෝරාගත් ආරොන්ද යැවූසේක.
27ඔව්හු ඔවුන් අතරේ උන්වහන්සේගේ ලකුණුද හාම්ගේ දේශයෙහි ආශ්චර්යයන්ද කළෝය.
28උන්වහන්සේ අන්ධකාරය යවා එය අඳුරුකළසේක;
ඔව්හු උන්වහන්සේගේ වචනයට විරුද්ධව කැරළි නොගැසුවෝය.
29උන්වහන්සේ ඔවුන්ගේ ජලය ලේ කොට, ඔවුන්ගේ මත්ස්‍යයන් නැසූසේක.
30ඔවුන්ගේ දේශය, තමුන්ගේ රජුන්ගේ ඇතුල් ගෙවල්හි පවා, මැඩියන්ගෙන් පිරී ගියාය.
31උන්වහන්සේ කථාකළසේක, එවිට මැසිරංචුද ඔවුන්ගේ රට මුළුල්ලෙහි කිනිතුල්ලෝද පිරුණෝය.
32උන්වහන්සේ ඔවුන්ට වැසි වෙනුවට ගල් වැස්සද ඔවුන්ගේ දේශයට ගිනිදැල්ද එවූසේක.
33ඔවුන්ගේ මිදිවැල් සහ අත්තික්කා ගස්වලට පහරදී, ඔවුන්ගේ සීමා තුළ ගස් බින්දසේක.
34උන්වහන්සේ කථාකළසේක, පළඟැටියෝද අසංඛ්‍ය ගණන් දළඹුවෝද අවුත්,
35ඔවුන්ගේ දේශයෙහි සියලු පලාජාති කෑවෝය, ඔවුන්ගේ භූමියේ ඵලද කෑවෝය.
36උන්වහන්සේ ඔවුන්ගේ සකල ශක්තියේ මුලවූ ඔවුන්ගේ දේශයෙහි සියලු කුලුඳුලන්ට පහරදුන්සේක.
37තවද උන්වහන්සේ රන්රිදී ඇතුව ඔවුන් පිටත ගෙනාසේක.
උන්වහන්සේගේ ගෝත්‍රවල කිසි දුර්වලයෙක්ද නොසිටියේය.
38ඔවුන් පිටත්ව ගිය කල මිසරය සන්තෝෂවූවාය;
මක්නිසාද එහි වැසියන්ට ඔවුන් ගැන භයක් පැමිණ තිබුණේය.
39උන්වහන්සේ ආවරණය පිණිස වලාකුළක්ද රාත්‍රියේදී එළිය දීමට ගින්නක්ද විදහා තැබූසේක.
40ඔව්හු ඉල්ලුවෝය, උන්වහන්සේ වටුවන් එවූසේක, ස්වර්ගීය භෝජනයෙන් ඔවුන් තෘප්තියට පැමිණවූසේක.
41උන්වහන්සේ පර්වතය විවරකළසේක, ජලය පැනනැගී, ගංගාවක් මෙන් වියළි ස්ථානවල ගලාගියේය.
42මක්නිසාද උන්වහන්සේ ස්වකීය ශුද්ධ වචනයද තමන් මෙහෙකරුවූ ආබ්‍රහම්ද සිහිකළසේක.
43උන්වහන්සේ ස්වකීය සෙනඟ ප්‍රීතියද තමන් තෝරාගත්තවුන් ගීතයද ඇතුව පිටත ගෙනාසේක.
44ඔවුන් උන්වහන්සේගේ පනත් රක්ෂාකරන පිණිසත්, උන්වහන්සේගේ ව්‍යවස්ථා පවත්වන පිණිසත්,
45උන්වහන්සේ ජාතීන්ගේ දේශයන් ඔවුන්ට දුන්සේක;
ඔව්හු මනුෂ්‍ය වර්ගයන්ගේ උත්සාහයේ ලාභය අයිතිකරගත්තෝය.
ස්වාමීන්ට ප්‍රශංසාකරව්.

දැනට තෝරාගෙන ඇත:

ගීතාවලිය 105: SROV

සළකුණු කරන්න

බෙදාගන්න

පිටපත් කරන්න

None

ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න