ගීතාවලිය 104:10-24

ගීතාවලිය 104:10-24 SROV

උන්වහන්සේ මිටියාවත්වලට උල්පත් යවනසේක. ඒවා කඳු අතරේ ගලායයි. ඒවා වනයේ සියලු මෘගයන්ට පැන් දෙයි; වල් කොටළුවෝ එයින් පිපාසා සන්සිඳුවාගනිති. ඒවා අද්දර ආකාශ පක්ෂීහු වැස, අතු අතරේ නාදකෙරෙති. උන්වහන්සේ තමන් උඩුමහල්වලින් කඳු තෙමනසේක. පොළොව ඔබගේ ක්‍රියාවල ඵලයෙන් තෘප්තියට පැමිණෙන්නීය. උන්වහන්සේ පොළොවෙන් කෑම හටගන්වන පිණිස සිව්පාවුන්ට තණකොළත්, මනුෂ්‍යයාගේ ප්‍රයෝජනයට පලා ජාතිත්, මනුෂ්‍යයාගේ සිත සතුටුකරන මුද්‍රිකපානයත්, ඔහුගේ මුහුණ පැහැපත්කරන්ට තෙලුත්, සිත ශක්තිමත්කරන ආහාරත් හටගන්වනසේක. ස්වාමීන්ගේ වෘක්ෂයෝ, එනම් උන්වහන්සේ සිටෙවු, ලෙබනොන්හි කිහිරි වෘක්ෂයෝ, තෘප්තියට පැමිණෙති; එහි කුරුල්ලෝ කූඩු සාදාගනිති. මානකොකාගේ ගෙය නම් දේවදාර ගස්ය. උස් කඳු වල් එළුවන්ටය; පර්වත සාවුන්ට ආරක්ෂාස්ථානයක්වේ. උන්වහන්සේ කාල විශේෂ පිණිස සඳ සෑදූසේක. සූර්යයා තමාගේ බැසයාම දනියි. ඔබ අඳුර පමුණුවනසේක, එවිට රෑවේ; එකල වනයේ සියලු මෘගයෝ බැහැරයති. තරුණ සිංහයෝ ගොදුරු ගැන ගර්ජනාකරමින්, දෙවියන්වහන්සේගෙන් කෑම ඉල්ලති. හිරු උදාවන කල උන් පහවගොස් උන්ගේ ගුහාවල ලගිති. මනුෂ්‍යයා සවස දක්වා තමාගේ කර්මාන්තයටත් වැඩටත් නික්ම යයි. ස්වාමිනි, ඔබගේ කර්මාන්ත කොපමණ නානාප්‍රකාරද! ඔබ මේ සියල්ල ප්‍රඥාවෙන් සෑදූසේක. පොළොව ඔබගේ සම්පත්තියෙන් පූර්ණය.