ගීතාවලිය 103

103
දෙවියන්වහන්සේගේ කරුණාව සහ අනුකම්පාව ගැන ප්‍රශංසාකිරීම
දාවිත්ගේ ගීතයකි.
1මාගේ ආත්මය, ස්වාමීන්ට ප්‍රශංසා කරව;
මා තුළ ඇති සියල්ල උන්වහන්සේගේ ශුද්ධවූ නාමයට ප්‍රශංසාකරව්.
2මාගේ ආත්මය, ස්වාමීන්ට ප්‍රශංසා කරව, උන්වහන්සේගේ උපකාර සියල්ල සිහිනැති නොකරව.
3උන්වහන්සේ නුඹේ සියලු අයුතුකම් කමාකරනසේක;
නුඹේ සියලු රෝග සුවකරනසේක;
4නුඹේ ජීවිතය විනාශයෙන් මුදා කරුණාගුණය හා දයාව නමැති ඔටුන්නෙන් නුඹ සරසනසේක.
5රාජාලියෙකු මෙන් ඔබගේ යෞවනකම අලුත්වන පිණිස උන්වහන්සේ ඔබගේ කට යහපත් දෙයින් තෘප්තියට පමුණුවනසේක.
6 ස්වාමීන්වහන්සේ පීඩා විඳින සියල්ලන් උදෙසා ධර්මිෂ්ඨ ක්‍රියා හා යුක්තිය ඉෂ්ටකරනසේක.
7උන්වහන්සේ ස්වකීය මාර්ග මෝසෙස්ටත් තමන් ක්‍රියා ඉශ්‍රායෙල් පුත්‍රයන්ටත් දැන්වූසේක.
8 ස්වාමීන්වහන්සේ අනුකම්පාවෙන් හා දයාවෙන් පිරී සිටිනසේක, කෝ‍පවීමට ප්‍රමාදය, අතිශයින් කරුණාවන්තය.
9උන්වහන්සේ නිතර තරවටු නොකරනසේක;
සදාකාලයට කෝපය නොපවත්වන සේක,
10උන්වහන්සේ අපේ පාපවල ප්‍රකාරයට අප කෙරෙහි ක්‍රියා නොකළසේක, අපේ අයුතුකම්වල ප්‍රකාරයට විපාක නුදුන්සේක.
11මක්නිසාද පොළොවට උඩින් අහස උස්ව තිබෙන්නාක්මෙන් උන්වහන්සේ කෙරෙහි භය ඇත්තන්ට උන්වහන්සේගේ කරුණාව මහත්ය.
12නැගෙනහිර බස්නාහිරෙන් දුරව තිබෙන්නාක්මෙන් උන්වහන්සේ අපේ වරද අපෙන් දුරුකළසේක.
13පියෙක් තම දරුවන්ට අනුකම්පා කරන්නාක්මෙන් ස්වාමීන්වහන්සේ තමන් කෙරෙහි භය ඇත්තන්ට අනුකම්පා කරනසේක.
14මක්නිසාද උන්වහන්සේ අපේ ස්වභාවය දන්නාසේක;
අප ධූලි බව උන්වහන්සේ සිහිකරනසේක.
15මනුෂ්‍යයාගේ දවස් වනාහි තණකොළ මෙන්ය;
ඔහු කෙතේ මලක් මෙන් සශ්‍රීකවේ.
16මක්නිසාද හුළඟ වැදී එය නැතිවී යයි;
එය තිබුණු ස්ථානයද තවත් එය දැනනොගන්නේය.
17නුමුත් ස්වාමීන්වහන්සේගේ කරුණාව තමන්ට භය ඇත්තන් කෙරෙහි සදාකාලයෙන් සදාකාලයටද, උන්වහන්සේගේ ධර්මිෂ්ඨකම දරුවන්ගේ දරුවන්ටද පවත්නේය.
18එනම් උන්වහන්සේගේ ගිවිසුම රක්ෂාකරන්නන්ටත් උන්වහන්සේගේ ශික්ෂා ඉෂ්ටකිරීම පිණිස ඒවා සිහිකරන්නන්ටත්ය.
19 ස්වාමීන්වහන්සේ තමන් සිංහාසනය ස්වර්ගයෙහි පිහිටෙවුසේක;
උන්වහන්සේගේ රාජ්‍යයද සියල්ල කෙරෙහි බලපවත්වයි.
20උන්වහන්සේගේ වාග් ශබ්දය අසා උන්වහන්සේගේ වචන ඉෂ්ටකරන්නාවූ ශක්තියෙන් බලවන්තයෙනි, ස්වාමීන්ගේ දූතයෙනි, උන්වහන්සේට ප්‍රශංසාකරව්.
21 ස්වාමීන්ගේ සේනා සියල්ලෙනි එනම් උන්වහන්සේගේ කැමැත්ත ඉෂ්ටකරන්නාවූ උන්වහන්සේගේ මෙහෙකරුවෙනි, උන්වහන්සේට ප්‍රශංසාකරව්.
22 ස්වාමීන්ගේ රාජ්‍යයේ සියලු තැන්හි තිබෙන උන්වහන්සේගේ සියලු කර්මාන්තයෙනි, උන්වහන්සේට ප්‍රශංසාකරව්.
මාගේ ආත්මය ස්වාමීන්ට ප්‍රශංසා කරව.

දැනට තෝරාගෙන ඇත:

ගීතාවලිය 103: SROV

සළකුණු කරන්න

බෙදාගන්න

පිටපත් කරන්න

None

ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න