හිතෝපදේශ 11:10-22

හිතෝපදේශ 11:10-22 SROV

ධර්මිෂ්ඨයන්ට ශුභසිද්ධවන කල නගරය ප්‍රීතිවෙයි; දුෂ්ටයන් නැතිවනකල ඔල්වරහඬ පවත්වයි. ඇද නැත්තන්ගේ ආශීර්වාදයෙන් නගරය උසස්වෙයි; එහෙත් දුෂ්ටයන්ගේ මුඛයෙන් එය පෙරළාදමනු ලබයි. තමාගේ අසල්වාසියා හෙළාදකින්නා නුවණ නැත්තෙකි; එහෙත් ඥානය ඇති මනුෂ්‍යයා නිශ්ශබ්දව සිටියි. කේලාම්කියමින් ඇවිදින්නා රහස් එළිදරව්කරයි; එහෙත් විශ්වාස සිතක් ඇත්තා කාරණය සඟවයි. ඥානවන්ත පාලනයක් නැති විට සෙනඟ වැටෙති; එහෙත් මන්ත්‍රීවරුන් රාශියක් කරණකොටගෙන ආරක්ෂාව ඇත්තේය. අන්‍යයෙකුට ඇපවෙන්නාට දුක් පැමිණෙයි; එහෙත් ඇපවීමට මැලිකරන්නා සුරක්ෂිතව සිටින්නේය. ශෝභන ස්ත්‍රියෙක් ගෞරවය රැකගන්නීය; බලාත්කාරකම්කරන්නෝ වස්තුව රැකගනිති. කරුණාවන්ත මනුෂ්‍යයා තමාගේම ප්‍රාණයට යහපත කරගන්නේය; එහෙත් කෲරයා තමාගේම මාංසය කලඹන්නේය. දුෂ්ටයා වංචාකාර ලාභයක් සම්බකරගන්නේය; එහෙත් ධර්මිෂ්ඨකම වපුරන්නා ස්ථිර ප්‍රතිඵල ලබන්නේය. ධර්මිෂ්ඨකමෙහි ස්ථිරව සිටින්නා ජීවනයට පැමිණෙන්නේය; නපුර අනුව යන්නා තමාට මරණය ළඟාකරගන්නේය. වංක සිත් ඇත්තෝ ස්වාමීන්වහන්සේට පිළිකුලක්ය. එහෙත් සම්පූර්ණ මාර්ගයක යන්නන්ට උන්වහන්සේ ප්‍රසන්නසේක. අතට අත එකතුවුණත් දුෂ්ටයා දඬුවම් නොලැබ නොසිටින්නේය; එහෙත් ධර්මිෂ්ඨයන්ගේ වංශය මුදනු ලබන්නේය. ඌරෙකුගේ හොස්සේ ලූ රන් මුදුවක් යම්සේද නුවණ නැති රූපත් ස්ත්‍රියද එසේමය