පිලිප්පි 4:4-13
පිලිප්පි 4:4-13 SROV
ස්වාමීන්වහන්සේ තුළ නිතරම ප්‍රීතිවෙන්න. ප්‍රීතිවෙන්නැයි නැවතත් කියමි. නුඹලාගේ ඉවසිලිවන්තකම සියලු මනුෂ්‍යයන්ට දැනගන්ට ලැබේවා. ස්වාමීන්වහන්සේ ළංව සිටිනසේක. නුඹලා කිසිවක් ගැන කනගාටු නොසිතා, සියල්ලෙහිදී ස්තුතිදීම සමඟ යාච්ඤාවෙන්ද කන්නලව්වෙන්ද නුඹලාගේ ඉල්ලීම් දෙවියන්වහන්සේට දන්වන්න. එවිට කිසි නුවණකින් දැනගත නොහැකිවූ දෙවියන්වහන්සේගේ සමාදානය ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ නුඹලාගේ සිත්ද සිතිවිලිද ආරක්ෂාකරනවා ඇත. ඉතින්, සහෝදරයෙනි, යම් පමණ දේ සැබෑද, යම් පමණ දේ ගරුකටයුතුද, යම් පමණ දේ සාධාරණද, යම් පමණ දේ පිරිසිදුද, යම් පමණ දේ ආදරණීයද, යම් පමණ දේ යහපත් කීර්තියක් ඇතිව තිබේද, යම් ගුණයක්, යම් ප්‍රශංසාවක් ඇද්ද, ඒ දේවල් මෙනෙහිකරන්න. නුඹලා ඉගෙනගත්තාවූ, පිළිගත්තාවූ, මා තුළ තිබෙන බව ඇසුවාවූ, දුටුවාවූ දේවලුත් කරන්න. එවිට සමාදානයේ දෙවියන්වහන්සේ නුඹලා සමඟ සිටිනවා ඇත. මෙපමණ කාලයකට පසු මා ගැන කල්පනාකිරීමට නුඹලා නැවත පිබිදුණු බැවින් ස්වාමීන්වහන්සේ තුළ බොහෝසෙයින් ප්‍රීතිවෙමි. ඒ ගැන නුඹලා ඇත්තටම කල්පනාකළහුය, නුමුත් ප්‍රස්තාවක් ලැබුණේ නැත. හිඟකමක් ගැන මෙසේ කියනවා නොවේ. මක්නිසාද මම මොන ස්වභාවක සිටිම් නුමුත්, ඊට සතුටුවෙන්ට මම ඉගෙනගෙන සිටිමි. පහත්ව සිටින්ට දනිමි, පූර්ණව සිටින්ටත් දනිමි. සෑම සියලු කාරණාවලදී තෘප්තියට පැමිණ සිටින්ට සහ ක්ෂුධාවෙන් සිටින්ටත්, පූර්ණව සිටින්ට සහ හිඟව සිටින්ටත් පුළුවන් රහස ඉගෙනගෙන සිටිමි. මා බලවත්කරන්නාවූ තැනන්වහන්සේ තුළ මට සියලුදේ කරන්ට පුළුවන.





