පිලිප්පි 2:1-13

පිලිප්පි 2:1-13 SROV

ඉතින් ක්‍රිස්තුස්වහන්සේ තුළ යම් අස්වැසිල්ලක් ඇත්නම්, ප්‍රේමයේ යම් සැනසිල්ලක් ඇත්නම්, ආත්මයාණන් වහන්සේගේ යම් පංගුකාරකමක් ඇත්නම්, යම් ආදරයක් සහ දයාබරකමක් ඇත්නම්, නුඹලා එක ප්‍රේමය ඇතුව, එකඟව සිට, එක කාරණයම අභිප්‍රායකරගෙන එක්සිත්ව සිටීමෙන්, මාගේ ප්‍රීතිය සම්පූර්ණකරන්න. පක්ෂවාදිකමෙන්වත් නිෂ්ඵල පාරට්ටුකාරකමෙන්වත් කිසි දෙයක් නොකොට, එකිනෙකා තම තමාට වඩා වෙන කෙනෙක් උතුමැයි යටහත්කමින් සිතාවා. නුඹලා එක් එක්කෙනා තම තමාගේම කාරණා නොව අනුන්ගේ කාරණාත් බලන්න. ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ තිබුණු සිතම නුඹලා තුළත් තිබේවා. උන්වහන්සේ දෙවියන්වහන්සේගේ රූපාකාරය දරනසේක්, දෙවියන්වහන්සේට සමානව සිටීම තමන් විසින් අල්ලාගනම සිටිය යුතුවූ වස්තුවකැයි නොසිතා, එය ඉවත්කර, දාසයෙකුගේ ස්වරූපය ගෙන, මනුෂ්‍යයන්ගේ සමානත්වයට පැමිණිසේක. මනුෂ්‍යාකාරයෙන් සිටිය කලත්, මරණය, එසේය, කුරුසියේ මරණය දක්වා කීකරුවූසේක. එබැවින් දෙවියන්වහන්සේ උන්වහන්සේව ඉතා උසස්කොට, සියලු නාමවලට වඩා උසස් නාමය උන්වහන්සේට දුන්සේක. එසේ කළේ, ස්වර්ගයෙහිද පොළොවෙහිද පොළොව යටද සියල්ලන් යේසුස් යන නාමයෙන් දණනමන පිණිසත්, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ස්වාමීන්වහන්සේ බව පියවූ දෙවියන්වහන්සේගේ ගෞරවය සඳහා සියලු දිව්වලින් ඒත්තුගන්න පිණිසත්ය. එබැවින්, මාගේ ප්‍රේමවන්තයෙනි, නුඹලා නිතරම කීකරුව සිටියාක්මෙන්ම, මා ළඟ සිටියදී පමණක් නොව දැන් මා ඈත්ව සිටින විටද ඊට වඩා කීකරුව, හයෙනුත් වෙවුලුමෙනුත් නුඹලාගේම ගැළවීම ඉෂ්ටකරගන්න; මක්නිසාද තමන්වහන්සේගේ යහපත් කැමැත්ත නිසා, කැමතිවෙන්ටත් වැඩකරන්ටත් නුඹලා තුළ ක්‍රියාකරන්නේ දෙවියන්වහන්සේමය.

පිලිප්පි 2:1-13 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය