ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට කියනසේක්: ඉශ්‍රායෙල් පුත්‍රයන්ට කථාකර ඔවුන්ට මෙසේ කියන්න–යම් මනුෂ්‍යයෙකුගේ භාර්යාව අහක්ව ඇගේ පුරුෂයාට විරුද්ධව වැරද්දක් කර, පුරුෂයෙක් ඈ සමඟ සයනය කරන්නේ නම්, එය ඇගේ පුරුෂයාගෙන් සැඟවී රහස්ව තිබේ නම්, ඈ අපවිත්‍රව සිටින නමුත් ඈට විරුද්ධ සාක්ෂියක් නැත්තේවී නම්, ඈ වරද කරද්දී අසුනොවීනම්, ඈ අපවිත්‍රව සිටිද්දී ඔහු කාමක්‍රෝධ ගතියකට පැමිණ තමාගේ භාර්යාව ගැන ශංකා සිතන්ටත් එසේ නැත්නම් ඈ අපවිත්‍ර නොවී සිටිද්දී ඔහු කාමක්‍රෝධ ගතියට පැමිණ තමාගේ භාර්යාව ගැන ශංකා සිතන්ටත් යෙදුණේවීනම්, ඒ මනුෂ්‍යයා තමාගේ භාර්යාව පූජකයා වෙතට කැඳවාගෙන ඒවා, ඈ උදෙසා ඇගේ පූජාව පිණිස යව පිටි ඒඵාවකින් දසයෙන් කොටසක් ගෙනේවා; ඒක ශංකා ආහාර පූජාවක් වන වරද සිහිකරවන සිහිවීමේ ආහාර පූජාවක් නිසා ඔහු ඒවා පිට කිසි තෙලක් වත්නොකෙරේවා, ඒවා පිට තුවරලාද නොදමාවා. එවිට පූජකයා ඈ කැඳවාගෙන ඇවිත් ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි ඈ සිටුවා, මැටි භාජනයකට ශුද්ධ වතුර ගෙන, මණ්ඩප භූමියෙහි තිබෙන ධූලියෙන් ටිකක් අරන් වතුරේ දමා, ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි ඒ ස්ත්‍රිය සිටුවා, ඇගේ හිසකේ ලිහවා, ඒ ශංකා ආහාර පූජාව වන සිහිවීමේ පූජාව ඇගේ අත්වල තබා, ශාපය උපදවන තික්ත වතුර තමාගේ අතේ තබාගෙන, ඈ දිවුරවමින් ඈට කථාකොට: නුඹේ පුරුෂයා යටතේ සිටිනාතර කිසි පුරුෂයෙකු නුඹ සමඟ සයනය නොකළානම්, නුඹ අපවිත්‍රකමට අහක්ව නොගියානම්, ශාපය උපදවන මේ තික්ත වතුරෙන් නුඹට අන්තරා නොවේවා. එහෙත් නුඹේ පුරුෂයා යටතේ සිටියදී නුඹ අහක්ව ගොස් කිලුටුවීනම්, නුඹේ පුරුෂයා හැර වෙන යම් මනුෂ්‍යයෙකු නුඹ සමඟ සයනයකෙළේනම්, ස්වාමීන්වහන්සේ නුඹේ කළවය ක්ෂයවීයන්ටත් නුඹේ බඩ ඉදිමෙන්ටත් සැලැස්වී මෙන් ස්වාමීන්වහන්සේ නුඹේ සෙනඟ අතරෙහි නුඹ ශාපයක්ද දෙස් කීමක්ද කරන සේක්වා. බඩ ඉදිමෙන ලෙසද කළවය ක්ෂයවී යන ලෙසද ශාපය උපදවන මේ වතුර නුඹේ බඩවැල තුළට යන්නේයයි ශාප දිවුරුමෙන් ස්ත්‍රිය දිවුරවාවා. ස්ත්‍රීද ආමෙන්, ආමෙන්යයි කියාවා. එවිට පූජකයා මේ ශාප පොතක ලියා එය තික්ත වතුරට සෝදා දමා, ශාපය උපදවන තික්ත වතුර ඒ ස්ත්‍රියට බොන්ට දේවා. ශාපය උපදවන වතුර ඈ තුළට පැමිණ තික්තවන්නේය. පූජකයාද ඒ ශංකා ආහාර පූජාව ස්ත්‍රියගේ අතින් ගෙන ස්වාමීන්වහන්සේ ඉදිරිපිට තේවකොට පූජාසනය ළඟට ගෙනවුත්, ආහාර පූජාවේ සිහිවීමේ කොටසක් කොට එයින් අහුරක් ගෙන පූජාසනය පිට දවාවා, පසුව ඔහු ඒ වතුර ස්ත්‍රියට බොන්ට සලස්වාවා. එවිට ඈ කිලුටුව සිටීනම්, ඇගේ පුරුෂයාට විරුද්ධව වැරුද්දක් කර තිබේනම්, ඔහු ඒ වතුර ඈට බොන්ට සැලැස්සුවායින් පසු ශාපය උපදවන ඒ වතුර තික්තවන පිණිස ඈ තුළට පැමිණ ඇගේ බඩ ඉදිමෙන්ටත් ඇගේ කළවය ක්ෂයවීයන්ටත් යෙදී ඒ ස්ත්‍රී ඇගේ සෙනඟ අතරෙහි ශාපයක් වන්නීය. නුමුත් ඒ ස්ත්‍රී කිලුටු නොව පවිත්‍රව සිටී නම්, ඈ උපද්‍රවයෙන් බේරී ගර්භීණී වන්නීය. කාමශංකාව පිළිබඳ ව්‍යවස්ථාව මේය: ස්ත්‍රියෙක් තමාගේ පුරුෂයා යටතේ සිටිනාතර අහක්ව ගොස් කිලුටුවූ කල හෝ, මනුෂ්‍යයෙක් කාමක්‍රෝධ ගතියකට පැමිණ තමාගේ භාර්යාව ගැන ශංකා සිතන්ට යෙදුණු කල හෝ, ඈ ඔහු ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි සිටවන්නේය, පූජකයාද මේ මුළු ව්‍යවස්ථාව ඈ කෙරෙහි ඉෂ්ටකරන්නේය. එවිට ඒ මනුෂ්‍යයා අයුතුකමෙන් නිදහස් වන්නේය, ඒ ස්ත්‍රීද ඇගේ අයුතුකම දරන්නීයයි කීසේක.