ගණන් කථාව 30

30
බාරවල් ගැන නීතිය
1මෝසෙස් ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ ගෝත්‍රවල ප්‍රධානීන්ට කථාකොට: ස්වාමීන්වහන්සේ අණකර තිබෙන දේ මේය– 2මනුෂ්‍යයෙක් ස්වාමීන්වහන්සේට බාරයක් වුණොත් නොහොත් යමකින් වැලකීමට බැඳෙන හැටියට දිවුරුමක් දිවුළොත් ඔහු තමාගේ වචනය කඩනොකර තමාගේ මුඛයෙන් නික්මෙන සියල්ල ලෙස කෙරේවා. 3ස්ත්‍රියෙක් ඇගේ තරුණ වයසේදී ඇගේ පියාගේ ගෙයි සිටින අතර ස්වාමීන්වහන්සේට බාරයක් වී යමකින් වැලකීමට බැඳෙන කල, 4ඇගේ පියා ඇගේ බාරය හා ඈ බැඳුණු බැඳීමේ වචනද අසා ඒ ගැන කිසිවක් නොකියා සිටියොත්, ඇගේ සියලු බාරද ඈ විසින් ඉෂ්ට කරන්ට බැඳුණු හැම බැඳීම්ද ස්ථිරවන්නේය. 5එහෙත් ඇගේ පියා එය ඇසූ දවසේදී ඈට තහනම්කළොත්, ඇගේ බාරද ඈ බැඳුණ බැඳීම්ද ස්ථිර නොවන්නේය. ඇගේ පියා ඈට තහනම් කළ බැවින් ස්වාමීන්වහන්සේ ඈට ක්ෂමාකරනසේක. 6ඇගේ බාර ඈ පිට තිබියදී නොහොත් ඈ බැඳෙන හැටියට අපරීක්ෂාවෙන් ඇගේ තොල්වලින් කියාවුණාවූ දේ තිබියදී ඈ පුරුෂයෙකු සමඟ විවාහවූවානම්, 7ඇගේ පුරුෂයා ඒ ඇසූ දවසේදී කිසිවක් නොකීවොත්, ඇගේ බාරද ඈ බැඳුණු ඇගේ බැඳීම්ද ස්ථිර වන්නේය. 8එහෙත් ඇගේ පුරුෂයා ඒ ඇසූ දවසේදී ඈට තහනම් කළොත්, ඈ කෙරෙහි තිබෙන ඇගේ බාරයද ඈ බැඳෙන හැටියට අපරීක්ෂාවෙන් ඇගේ තොල්වලින් කියවුණාවූ වචනද ඔහු අවලංගුකරන්නේය. ස්වාමීන්වහන්සේද ඈට ක්ෂමාකරනසේක. 9එහෙත් වැන්දඹුවකු විසින් හෝ අත්හරිනලද භාර්යාවකු විසින් හෝ බාරයක් වූ කල්හි ඈ බැඳුණු සියල්ලම ඈ කෙරෙහි ස්ථිරවන්නේය. 10තවද ඇගේ පුරුෂයාගේ ගෙයිදී ඈ බාරයක් වුණොත් නොහොත් යමකින් වැලකීමට ඈ දිවුරුමකින් බැඳුණොත්, 11ඇගේ පුරුෂයාද ඒ අසා කිසිවක් නොකීයේනම්, ඈට තහනම් නොකෙළේ නම්, ඇගේ සියලු බාරද ඈ කරන්ට බැඳුණාවූ සියල්ලද ස්ථිරවන්නේය. 12එහෙත් ඇගේ පුරුෂයා ඒ ඇසූ දවසේදී ඒවා මුළුමනින්ම අවලංගු කෙළේනම්, ඇගේ බාරවල් ගැනද ඇගේ බැඳීම ගැනද ඇගේ තොල්වලින් නික්මුණාවූ කිසිවක් ස්ථිර නොවන්නේය. ඇගේ පුරුෂයා ඒවා අවලංගු කෙළේය; ස්වාමීන්වහන්සේද එය ඈට ක්ෂමාකරනසේක. 13සියලු බාරවල්ද ප්‍රාණයට දුක් විලාසයෙන් සිටීමට කරන සියලු දිවුරුම්ද ඇගේ පුරුෂයාට ස්ථිර කරන්ට හෝ අවලංගුකරන්ට හෝ පුළුවන. 14එහෙත් ඇගේ පුරුෂයා දවසින් දවස ඒ ගැන නිශ්ශබ්දව සිටියොත් ඈ කෙරෙහි තිබෙන ඇගේ සියලු බාරවල් හෝ ඇගේ සියලු බැඳීම් ඔහු විසින් ස්ථිරකරනු ලැබේ. ඔහු ඒ ඇසූ දවසේදී ඈට කිසිවක් නොකී බැවින් ඔහු ඒවා ස්ථීරකෙළේය. 15එහෙත් ඔහු ඒවා ඇසුවායින් පසු යම් අන්දමකින් ඒවා අවලංගුකළොත්, ඔහු ඇගේ අයුතුකම දරන්නේයයි කීවේය. 16පුරුෂයෙකු සහ ඔහුගේ භාර්යාව අතරේද පියෙකු සහ ඔහුගේ දුව ඇගේ තරුණ වයසේදී ඇගේ පියාගේ ගෙයි සිටින කල ඈ අතරේද පවත්වන ලෙස ස්වාමීන්වහන්සේ මෝසෙස්ට අණකළ පනත් මේවාය.

දැනට තෝරාගෙන ඇත:

ගණන් කථාව 30: SROV

සළකුණු කරන්න

බෙදාගන්න

පිටපත් කරන්න

None

ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න