ගණන් කථාව 23:13-30
ගණන් කථාව 23:13-30 SROV
බාලාක් ඔහුට කථාකොට: ඔවුන් දකින්ට පුළුවන් අන් තැනකට මා සමඟ එන්න; නුඹ ඔවුන් සියල්ලන් නොදැක ඔවුන්ගේ ඉතා ඈත කොටස පමණක් දක්නෙහිය. එහි සිට මා උදෙසා ඔවුන්ට ශාප කරන්නැයි කියා, ශොල්ඵිම් කෙතෙහි පිස්ගා මුදුනට ඔහු ගෙනගොස් පූජාසන සතක් ගොඩනගා එක එක පූජාසනය පිට ගොනෙකු හා බැටළුවෙකු බැගින් පූජාකෙළේය. ඔහු බාලාක්ට කථාකොට: මෙහි නුඹේ දවන පූජාව ළඟ සිටින්න, මම අරෙහේ ස්වාමීන්වහන්සේ සම්මුඛවන්නෙමියි කීවේය. ස්වාමීන්වහන්සේ බාලාම්ට සම්මුඛවී ඔහුගේ මුඛයෙහි වචනයක් තබා: නුඹ බාලාක් වෙතට හැරී ගොස් එසේ කියන්නැයි කීසේක. හෙතෙම ඔහු ළඟට ආවේය, බලව, ඔහුද ඔහු සමඟ මෝවබ්හි අධිපතීහුද ඔහුගේ දවන පූජාව ළඟ සිටියෝය. බාලාක්: ස්වාමීන්වහන්සේ කුමක් කීසේක්දැයි ඔහුගෙන් ඇසුවේය. ඔහු උපමා කථා පවසමින් කියනුයේ: බාලාක්, නැගිට අසන්න; ශිප්පෝර්ගේ පුත්‍රය, කන් යොමුකරන්න. බොරු කියන්ට දෙවියන්වහන්සේ මනුෂ්‍යයෙක්වත් තැවෙන්ට මනුෂ්‍ය පුත්‍රයෙක්වත් නොවනසේක. උන්වහන්සේ කී දේ නොකරනසේක්ද? උන්වහන්සේ කථාකළ දේ ඉෂ්ට නොකරනසේක්ද? බලව, ආශීර්වාදකරන්ට අණ ලැබීමි. උන්වහන්සේ ආශීර්වාදකළසේක, මට එය වෙනස්කරන්ට නොහැක්කේය. උන්වහන්සේ යාකොබ් කෙරෙහි අයුතුකමවත් ඉශ්රායෙල් කෙරෙහි දූෂ්‍යකමවත් නුදුටුසේක. ඔහුගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔහු සමඟ සිටින සේක, ඔවුන් අතරේ රජෙකුගේ ජය ඝෝෂාව ඇත්තේය. දෙවියන්වහන්සේ ඔවුන් මිසරයෙන් ගෙන එනසේක; ඔහුට කුළුහරකා මෙන් ශක්තිය ඇත්තේය. සැබවින් යාකොබ්ට විරුද්ධව ශාස්ත්‍රකීමක්වත් ඉශ්රායෙල්ට විරුද්ධව පේනකීමක්වත් නැත. දැනුදු යාකොබ් සහ ඉශ්රායෙල් ගැන: දෙවියන්වහන්සේ කොපමණ දේ ඉෂ්ටකර තිබේද! කියා කියනු ලැබේ. බලව, ඒ සෙනඟ සිංහධේනුවක් මෙන් නැගිටියි, සිංහයෙකු මෙන් තමාම උසස්වෙයි. ඔහු ගොදුරු කන තෙක්ද මැරුම්කන්නන්ගේ ලේ බොන තෙක්ද නොලගින්නේයයි කීවේය. බාලාක් බාලාම්ට කථාකොට: ඔවුන්ට කොහෙත්ම ශාපවත් ආශීර්වාදවත් නොකරන්නැයි කීවේය. එහෙත් බාලාම් බාලාක්ට උත්තරදෙමින්: ස්වාමීන්වහන්සේ මට කියන සියල්ල මා විසින් කළ යුතුයයි නුඹට නොකීයෙම්දැයි කීවේය. බාලාක්ද: එන්න, වෙන තැනකට නුඹ ගෙනයන්නෙමි; එතැන සිට මා උදෙසා ඔවුන්ට ශාප කරනවාට දෙවියන්වහන්සේ සමහරවිට ප්‍රසන්නවනසේකැයි බාලාම්ට කියා, කාන්තාරය ඉදිරිපිට පෙනෙන පෙයෝර් මුදුනට බාලාම් ගෙනගියේය. බාලාම්ද: මෙහි පූජාසන සතක් මට ගොඩනගා ගොන් සත්දෙනෙක් සහ බැටළුවන් සත්දෙනෙක් මෙහි මට පිළියෙළකරන්නැයි බාලාක්ට කීවේය. බාලාක් බාලාම් කී ලෙස කොට එක එක පූජාසනය පිට ගොනෙකු හා බැටළුවෙකු බැගින් පූජාකෙළේය.

