ගණන් කථාව 22:21-41

ගණන් කථාව 22:21-41 SROV

බාලාම් උදය නැගිට තමාගේ කොටළුදෙන සූදානම්කොට මෝවබ්හි අධිපතීන් සමඟ ගියේය. ඔහු ගිය නිසා දෙවියන්වහන්සේගේ උදහස ඇවුළුණේය. ස්වාමීන්වහන්සේගේ දූතයා ඔහුට විරුද්ධකාරයෙක්ව මාර්ගයෙහි සිටගත්තේය. ඔහු තමාගේ කොටළුදෙන පිට නැගී උන්නේය, ඔහුගේ මෙහෙකරුවෝ දෙදෙනා ඔහු සමඟ සිටියෝය. කොටළුදෙන ස්වාමීන්වහන්සේගේ දූතයා කඩුව ඇදගෙන මාර්ගයෙහි සිටින බව දැක මගින් ඉවත්ව කෙතට ගියාය. බාලාම් කොටළුදෙන මගට හරවන පිණිස ඈට ගැසීය. එවිට ස්වාමීන්වහන්සේගේ දූතයා දෙපැත්තේ තාප්ප ඇති මිදිවතු අතරේ පටු පාරක සිටගත්තේය. කොටළුදෙන ස්වාමීන්වහන්සේගේ දූතයා දැක තාප්පයට හැපී බාලාම්ගේ පය තාප්පයට වැද්දෙවුවාය. ඔහු නැවතත් ඈට ගැසුවේය. ස්වාමීන්වහන්සේගේ දූතයා තව දුරටත් ගොස්, දකුණටවත් වමටවත් හැරෙන්ට ඉඩ නැති නුපුළුල් ස්ථානයක සිටගත්තේය. කොටළුදෙන ස්වාමීන්වහන්සේගේ දූතයා දැක බාලාම් ඈ පිට ඉන්දදීම බිම වැතුරුණාය. බාලාම්ගේ කෝපය ඇවුළුණේය, ඔහු තමාගේ කෙවිටෙන් කොටළුදෙනට ගැසීය. එවිට ස්වාමීන්වහන්සේ කොටළුදෙනගේ මුඛය ඇරෙවුසේක, ඈද: මේ තුන් වරක්ම මට ගැසීමට මම ඔබට කුමක් කෙළෙම්දැයි බාලාම්ට කීවාය. බාලාම්ද: තී මට සරදම්කළ නිසාය. මාගේ අතේ කඩුවක් තිබුණේවී නම් මා විසින් මෙලහට තී මැරුවා නොවේදැයි කොටළුදෙනට කීවේය. කොටළුදෙන: මම ඔබගේ මුළු ජීවිතයේ අද දක්වා ඔබ නැගීගිය ඔබගේ කොටළුදෙන නොවෙම්ද? ඔබට මෙසේ කරන්ට කවදාවත් පුරුදුව සිටියෙම්දැයි බාලාම්ට කීවාය. ඔහු: නැතැයි කීවේය. එවිට ස්වාමීන්වහන්සේ බාලාම්ගේ ඇස් ඇරෙවුසේක, ඔහු ස්වාමීන්වහන්සේගේ දූතයා කඩුව ඇදගෙන මාර්ගයෙහි සිටිනවා දැක හිස නමා මුහුණින් වැටුණේය. ස්වාමීන්වහන්සේගේ දූතයා ඔහුට කථාකොට: නුඹේ කොටළුදෙනට නුඹ මේ තුන් වරක්ම ගැසුවේ මක්නිසාද? නුඹේ මාර්ගය මා ඉදිරියෙහි ඇදව තිබෙන නිසා විරුද්ධකාරයෙක් මෙන් මෙහි ඇවිත් සිටිමි. කොටළුදෙනද මා දැක මේ තුන් වරක්ම මා ඉදිරියෙන් ඉවත හැරුණාය. ඈ මා කෙරෙන් ඉවත නොහැරුණා නම් සැබවින් මා විසින් නුඹ මරා ඈ ඉතුරුකරනලද්දේ නොවේදැයි කීවේය. බාලාම්ද: ඔබ මට විරුද්ධව මාර්ගයෙහි සිටි බව මා නොදත් බැවින් පව්කෙළෙමි. ඉදින් ඔබ අසතුටුනම් හැරීයන්නෙමියි ස්වාමීන්වහන්සේගේ දූතයාට කීවේය. ස්වාමීන්වහන්සේගේ දූතයා: ඒ මනුෂ්‍යයන් සමඟ යන්න. එහෙත් මා විසින් නුඹට කියන වචනය පමණක් නුඹ විසින් කිය යුතුයයි බාලාම්ට කීවේය. මෙසේ බාලාම් බාලාක්ගේ අධිපතීන් සමඟ ගියේය. බාලාක්තෙමේ බාලාම් ආ බව අසා ඔහු සම්බ වන පිණිස අර්ණොන් සීමාවට ළංවූ සීමාන්තයෙහි තිබෙන මෝවබ් නුවරට ගියේය. ඔහු බාලාම්ට කථාකොට: මම ඕනෑකමින් නුඹට එන්ට කියා නෑරියෙම්ද? නුඹ මා වෙතට නාවේ මක්නිසාද? සැබවින් නුඹ ගෞරවයට පමුණුවන්ට මට බැරිදැයි ඔහුට කීවේය. බාලාම් කථාකොට: මෙන්න, මම නුඹ වෙතට ඇවිත් සිටිමි. මොකවත් කියන්ට දැන් මට කිසි බලයක් ඇද්ද? දෙවියන්වහන්සේ මාගේ මුඛයෙහි තබන වචනයම කියන්නෙමියි බාලාක්ට කීවේය. බාලාම් බාලාක් සමඟ ගියේය. ඔව්හු කිරියත්-හුශෝත්ට පැමුණුණෝය. බාලාක් ගවයන් හා බැටළුවන් පූජාකොට බාලාම්ටද ඔහු සමඟ සිටි අධිපතීන්ටද කොටස් යැවීය. තවද පසුව දා උදේ බාලාක් බාලාම් කැඳවාගෙන බාල්ගේ උස් තැන්වලට ගියේය, එහි සිට ඔහු කෙළවර දක්වාම සෙනඟ දිටීය.

ගණන් කථාව 22:21-41 සඳහා වීඩියෝව

ගණන් කථාව 22:21-41 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය