ගණන් කථාව 14:1-23

ගණන් කථාව 14:1-23 SROV

එවිට මුළු සභාව ශබ්දනගා හැඬුවාය; සෙනඟ ඒ රාත්‍රියේ වැලපුණෝය. සියලු ඉශ්‍රායෙල් පුත්‍රයෝ මෝසෙස්ටත් ආරොන්ටත් විරුද්ධව කොඳුළෝය. මුළු සභාව ඔවුන්ට කථාකර: අහෝ අපි මිසර දේශයෙහි මළෙමු නම් යහපත; නොහොත් මේ කාන්තාරයෙහි මළෙමුනම් යහපත. අප කඩුවෙන් වැටෙන පිණිස ස්වාමීන්වහන්සේ මේ දේශයට අප ගෙනෙන්නේ මක්නිසාද? අපේ භාර්යාවන්ද බාලයන්ද කොල්ලයක් වෙනවා ඇත. මිසරයට හැරීයාම අපට හොඳ නොවේ දැයි කීවෝය. තවද ඔව්හු එකිනෙකාට කථාකොට: අපි ප්‍රධානියෙකු පත්කරගෙන මිසරයට හැරීයමුයයි කීවෝය. එවිට මෝසෙස් හා ආරොන් ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ සභාවේ මුළු සමූහයා ඉදිරියෙහි මුහුණින් වැටුණෝය. දේශය සෝදිසිකළවුන්ගෙන් නූන්ගේ පුත්‍රවූ යෝෂුවාද යෙඵුන්නෙගේ පුත්‍රවූ කාලෙබ්ද තමුන්ගේ වස්ත්‍ර ඉරාගෙන, ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ මුළු සභාවට කථාකොට: අප සෝදිසි කරන්ට ගිය දේශය ඉතාම හොඳ දේශයක්ය. ස්වාමීන්වහන්සේ අප කෙරෙහි ප්‍රසන්නවනසේක්නම් කිරි සහ මීපැණි ගලායන ඒ දේශයට අප පමුණුවා ඒක අපට දෙනවා ඇත. ස්වාමීන්වහන්සේට විරුද්ධව කැරළිගැසීමක් නම් නොකරල්ලා, ඒ දේශයේ සෙනඟට භය නොවෙන්න; මක්නිසාද ඔව්හු අපට ගොදුරු වැනිය. ඔවුන්ගේ ආරක්ෂාව ඔවුන් කෙරෙන් පහව ගියාය, ස්වාමීන්වහන්සේ අප සමඟ සිටිනසේක. ඔවුන්ට භය නොවන්නැයි කීවෝය. එහෙත් මුළු සභාව ගල්ගසා ඔවුන් මරන්ට කීහ. ස්වාමීන්වහන්සේගේ මහිමයද සම්මුඛවීමේ කූඩාරමේදී සියලු ඉශ්‍රායෙල් පුත්‍රයන්ට පෙනුණේය. ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට: මේ සෙනඟ කොපමණ කල් මා හෙළාදකින්නෝද? ඔවුන් අතරෙහි මා විසින් කළ සියලු ලකුණු දැකලාවත් කොපමණ කල් ඔව්හු මා අදහා නොගෙන සිටින්නෝද? මම වසංගතයෙන් ඔවුන්ට පහරදී, ඔවුන් අහිමිකොට, ඔවුන්ට වඩා මහත්වූ බලවත්වූ සෙනඟක් නුඹෙන් හටගන්වන්නෙමියි කීසේක. මෝසෙස් ස්වාමීන්වහන්සේට කථාකොට: එවිට මිසරවරුන්ට එය සැලවෙනවා ඇත; මක්නිසාද ඔබ ඔවුන් අතරෙන් මේ සෙනඟ ඔබගේ පරාක්‍රමයෙන් ගෙනාසේක; ඔව්හු මේ දේශයෙහි වැසියන්ටද ඒක කියන්නාහුය. ස්වාමීන්වහන්ස, ඔබ මේ සෙනඟ මැද සිටිනසේකැයි ඔවුන් විසින් අසනලද්දේය; මක්නිසාද ස්වාමීන්වහන්ස, ඔබ මුහුණට මුහුණ ලා දක්නාලබනසේක, ඔබගේ වලාකුළ මොවුන් මතුයෙහි තිබේ. ඔබ දවාලෙහි වලා ටැඹකින්ද රාත්‍රියෙහි ගිනි ටැඹකින්ද මොවුන්ට පෙරටුව යනසේක. ඉදින් ඔබ දැන් මේ සෙනඟ එක්කෙනෙකු මෙන් මරනසේක් නම් ඔබගේ කීර්තිය ඇසූ ජාතීන් කථාකරමින්: ස්වාමීන්වහන්සේ මේ සෙනඟට දිවුළ දේශයට ඔවුන් පමුණුවන්ට නොහැකිවූ බැවින් උන්වහන්සේ ඔවුන් කාන්තාරයෙහි මරා දැමූසේකැයි කියනවා ඇත. එබැවින් ඔබ කථාකොට: ස්වාමීන්වහන්සේ උදහස් වීමට ප්‍රමාදවනසේක. බොහෝ දයාවෙන් යුක්තය, උන්වහන්සේ අයුතුකම හා වරද ක්ෂමාකරනසේක, එහෙත් අපරාධීන් කොයි ආකාරයකින්වත් නිර්දෝෂ නොකරනසේක; තුන්වෙනි සතරවෙනි පරම්පරාව දක්වා පියවරුන්ගේ අයුතුකම ගැන දරුවන්ට ප්‍රතිඵල දෙනසේකැයි කීලෙසම ස්වාමීන්වහන්සේගේ බලය මහත් වේවා. ඔබවහන්සේගේ දයාවේ මහත්කම ලෙසද මේ සෙනඟ මිසරයෙහි සිටින කාලයේ පටන් මේ දක්වා ඔබ මේ සෙනඟට කමාවුණාක් මෙන්ද මේ සෙනඟගේ අයුතුකමට කමාවුණමැනවයි කීවේය. ස්වාමීන්වහන්සේ ද: නුඹේ වචනය ප්‍රකාරයට කමාවුණෙමි. එහෙත් මා ජීවත්ව සිටිනවාත් මුළු පොළොව ස්වාමීන්වහන්සේගේ තේජසෙන් පූර්ණකරනු ලබනවාත් සැබෑවාසේම, මාගේ තේජසත් මිසරයෙහිදී හා කාන්තාරයෙහිදී මා විසින් දැක්වූ ලකුණුත් දුටුවාවූ මේ සියලු මනුෂ්‍යයන් මාගේ හඬට කීකරුනොවී දැන් දසවරක් මා පරීක්ෂාකළ බැවින්, සැබවින් මා විසින් ඔවුන්ගේ පියවරුන්ට දෙනලෙස දිවුළ දේශය ඔව්හු නොදක්නෝය, මා හෙළාදැක්වූ කිසිවෙක්වත් ඒක නොදක්නේය.

මෙයට අදාළ වීඩියෝ

ගණන් කථාව 14:1-23 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය