ශු. මාර්ක් 6:30-43
ශු. මාර්ක් 6:30-43 SROV
ප්රේරිතයෝ යේසුස්වහන්සේ වෙතට රැස්ව තමුන් විසින් කළාවූද ඉගැන්නුවාවූද සියල්ල උන්වහන්සේට දැන්නුවෝය. එවිට උන්වහන්සේ: නුඹලා පමණක් වනාන්තර ස්ථානයකට ඇවිත් ටිකක් පහසු ගන්නැයි ඔවුන්ට කීසේක. මක්නිසාදයත් ඔවුන්ට කෑම කන්ටවත් අවකාශ නැති තරමට එන්නෝ යන්නෝ බොහෝ වූවෝය. එවිට ඔව්හු පමණක් ඔරුවෙන් වනාන්තර ස්ථානයකට ගියෝය. සෙනඟ ඔවුන් යනවා දැක, බොහෝ දෙනෙක් ඔවුන් හැඳින, සියලු නුවරවලින් එක්ව පයින් දුවගොස්, ඔවුන්ට පළමුවෙන් එහි පැමිණියෝය. උන්වහන්සේ ගොඩබැස්ස කල මහත් සමූහයක් දැක, ඔවුන් එඬේරෙකු නැති බැටළුවන් මෙන් සිටිය බැවින් ඔවුන් කෙරෙහි අනුකම්පාකොට, ඔවුන්ට බොහෝ කාරණා උගන්වන්ට පටන්ගත්සේක. දවාල බොහෝසේ ගෙවුණු කල උන්වහන්සේගේ ගෝලයෝ උන්වහන්සේ වෙතට ඇවිත්: මේ වනාහි වනාන්තර ස්ථානයක්ය, දවාල බොහෝසේ ගෙවී තිබේ. ඔවුන් අවට තිබෙන ජනපද යට හා ගම්වලට ගොස් තමුන්ට යම් දෙයක් කන්ට මිලදී ගැනීම පිණිස ඔවුන් හැරිය මැනවයි කීවෝය. නුමුත් උන්වහන්සේ උත්තරදෙමින්: නුඹලා ඔවුන්ට කන්ට දෙන්නැයි කීසේක. එවිට ඔව්හු: අප ගොස් මසු දෙසියයක රොටි මිලේටගෙන ඔවුන්ට කන්ට දෙන්ටදැයි උන්වහන්සේගෙන් ඇසුවෝය. නුඹලා ළඟ රොටි කීයක් තිබේද කියා ගොස් බලන්නැයි උන්වහන්සේ ඔවුන්ට කීසේක. ඔව්හු දැනගත් කල: රොටි පහකුත් මසුන් දෙන්නෙකුත්යයි කීවෝය. උන්වහන්සේ ඔවුන් සියල්ලන් කණ්ඩායම් වශයෙන් නිල් තණකොළ පිට හිඳුවන්ට ඔවුන්ට අණකළසේක. ඔව්හු පේළි වශයෙන් සියය බැගින්ද පණහ බැගින්ද ඉඳගත්තෝය. උන්වහන්සේ රොටි පහද මසුන් දෙදෙනද අරගෙන, ස්වර්ගය දෙස බලා ස්තුතිකොට, රොටි කඩා, ඔවුන් ඉදිරියෙහි තබන්ට ගෝලයන්ට දී, මසුන් දෙදෙනත් ඔවුන් සියල්ලන්ට බෙදාදුන්සේක. සියල්ලෝම කාලා තෘප්තියට පැමිණියෝය. ඉතිරි කැබලිවලින්ද මසුන්ගෙන්ද පැස් දොළොසක් පුරවාගත්තෝය.


