ශු. මාර්ක් 6:1-32

ශු. මාර්ක් 6:1-32 SROV

උන්වහන්සේ එතැනින් පිටත්ව ගොස් තමන්ගේම රටට පැමිණිසේක; ගෝලයෝ උන්වහන්සේ කැටුව ගියෝය. සබත් දවස පැමිණි කල උන්වහන්සේ සිනගෝගයෙහි උගන්වන්ට පටන්ගත්සේක. බොහෝ දෙනෙක් ඒ අසා මවිතව: මොහුට මේ දේවල් කොයින්ද? මොහුට දී තිබෙන මේ ප්‍රඥාව කිමෙක්ද? මොහුගේ අතින් කරනලද බලවත් ක්‍රියාවලින් හැඟෙන්නේ කිමෙක්ද? මොහු මරියාගේ පුත්‍රවූද යාකොබ්, යෝසෙස්, යූදස් සහ සීමොන්ගේ සහෝදරවූද වඩුවා නොවේද? මොහුගේ සහෝදරියෝ මෙහි අප අතරේ සිටිනවා නොවේද කියා උන්වහන්සේ ගැන බාධාවූහ. එවිට යේසුස්වහන්සේ කථාකොට: අනාගතවක්තෘ කෙනෙක් තමාගේම රටේදීත් තමාගේම නෑයන් අතරේදීත් තමාගේම ගෙදරදීත් මිස ගෞරව නැතුව නොසිටීයයි කීසේක. එහිදී රෝගීන් ස්වල්පදෙනෙකු පිට අත් තබා සුවකළා මිස වෙන කිසි බලවත් ක්‍රියාවක් කරන්ට උන්වහන්සේට නොහැකිවූයේය. ඔවුන්ගේ විශ්වාසය නැතිකම ගැන උන්වහන්සේ මවිතවූසේක. උන්වහන්සේ උගන්වමින් අවට ගම්වල ඇවිද්දසේක. එකල උන්වහන්සේ දොළොස්දෙනා තමන් ළඟට කැඳවා, ඔවුන් දෙදෙන දෙදෙනා බැගින් යවන්ට පටන්ගෙන, අශුද්ධාත්මයන් කෙරෙහි ඔවුන්ට බලයදී, ගමනට සැරයටියක් පමණක් මිස රොටිවත් මල්ලක්වත් පසුම්බිවල මුදල්වත් යන කිසි දෙයක් නොගෙන, වහන් පය ලා, ඇඳුම් දෙකක් නොහැඳ යන ලෙස ඔවුන්ට අණකළසේක. තවද උන්වහන්සේ ඔවුන්ට කියනසේක්: නුඹලා යම් තැනකදී ගෙදරකට ඇතුල්වූ කල, එයින් පිටත්ව යනතෙක් එහිම සිටින්න. යම් තැනකදී ඔවුන් නුඹලා පිළිගන්නේවත් නුඹලාගේ වචන අසන්නේවත් නැත්නම්, එතැනින් පිටත්ව යන කල ඔවුන්ට සාක්ෂියක් පිණිස නුඹලාගේ පාද යට තිබෙන ධූලි ගසාදමන්නැයි කීසේක. ඔව්හු පිටත්ව ගොස්: පසුතැවිලිවෙන්නැයි දේශනාකළෝය. ඔව්හු බොහෝ යක්ෂයන්ද දුරුකොට, බොහෝ ලෙඩුන් තෙලින් ආලේපකොට, සුවකළෝය. එකල උන්වහන්සේගේ නාමය ප්‍රසිද්ධවූ බැවින්, හෙරොද් රජ ඒ අසා: යොහන් බව්තීස්ත මළවුන්ගෙන් නැගුටුණේය, එබැවින් මේ ආශ්චර්ය බලය ඔහු තුළ ක්‍රියාකරන්නේයයි කීවේය. නුමුත් සමහරෙක්: ඔහු එලියායයි කීවෝය. අන් සමහරෙක්: අනාගතවක්තෘවරුන්ගෙන් එක්කෙනෙකු මෙන් ඔහු අනාගතවක්තෘ කෙනෙක්යයි කීවෝය. නුමුත් හෙරොද් ඒ ඇසූකල: මේ වනාහි මා විසින් හිස කප්පවනලද යොහන්ය, ඔහු (මළවුන්ගෙන්) නැගිට සිටින්නේයයි කීයේය. මක්නිසාද හෙරොද් තමා සරණපාවාගත්, තමාගේ සහෝදරයා වන පිලිප්ගේ භාර්යාවවූ හෙරෝදියස් නිසා මිනිසුන් යවා යොහන් අල්ලා හිරඅඩස්සි කෙළේය. මෙසේ කළේ: නුඹේ සහෝදරයාගේ භාර්යාව තබාගැනීම නුඹට යුතු නැතැයි යොහන් හෙරොද්ට කී නිසාය. එබැවින් හෙරෝදියස් ඔහුට වෛරබැඳ, ඔහු මරන්ට කැමතිවූවාය; නුමුත් ඈට නොහැකිවිය; මක්නිසාදයත් යොහන් ධර්මිෂ්ඨවූ ශුද්ධවූ මනුෂ්‍යයෙකු බව හෙරොද් දැන, ඔහුට භයව, ඔහු ආරක්ෂාකෙළේය. තවද ඔහුගේ බස් අසා හෙරොද් බොහෝසේ වියවුල්විය; නුමුත් සන්තෝෂයෙන් ඔහුට ඇහුම්කන් දුන්නේය. තවද පහසු දිනක් පැමිණියෙන්, හෙරොද් තමා උපන් දවසේදී තමාගේ උත්තමයන්ටද ප්‍රධාන සේනාධිපතීන්ටද ගලීලයේ ප්‍රධානීන්ටද මංගල්‍යකෑමක් දුන්නේය. එවිට හෙරෝදියස්ගේ දුව එහි පැමිණ නටා, හෙරොද් සහ ඔහු සමඟ කෑමට වාඩිව හුන් අය ප්‍රසන්නකළාය; එකල රජතෙම තරුණියට කථාකොට: නුඹ කැමති මොන දෙයක් නුමුත් මාගෙන් ඉල්ලන්න, ඒක නුඹට දෙමියි කීය. ඔහුද: නුඹ මාගෙන් ඉල්ලන කොයිදෙයක් වුවත්, මාගේ රාජ්‍යයෙන් දෙකෙන් කොටසක් වුවත්, නුඹට දෙමියි කියා ඈට දිවුරුම් දුන්නේය. ඈ පිටතට ගොස්: මා කුමක් ඉල්ලන්ටදැයි ඇගේ මවුගෙන් ඇසුවාය. යොහන් බව්තීස්තගේ හිසයයි ඈ කීවාය. එකෙණෙහිම ඈ ඉක්මනින් රජු වෙතට පැමිණ: ඔබ විසින් යොහන් බව්තීස්තගේ හිස තැටියක ලා දැන්ම මට දෙනවාට කැමැත්තෙමියි කියා ඉල්ලුවාය. රජතෙමේ අතිශයින් ශෝකවිය; නුමුත් ඔහුගේ දිවුරුම් නිසාත්, ඔහු සමඟ කෑමට වාඩිව සිටි අයවල් නිසාත්, බැරියයි ඈට කියන්ට නොකැමතිවිය. එකෙණෙහිම රජ මුරකාර හේවායෙකු යවා, යොහන්ගේ හිස ගෙනෙන්ට අණකෙළේය. ඔහු ගොස් හිරගෙයිදී ඔහුගේ හිස කපා, තැටියක ලා ගෙනවුත් යෞවනියට දුන්නේය; යෞවනීද ඒක ඇගේ මවුට දුන්නාය. ඔහුගේ ගෝලයෝ ඒ අසා ඇවිත්, ඔහුගේ මළකඳ ගෙනගොස් සොහොන් ගෙයක තැබුවෝය. ප්‍රේරිතයෝ යේසුස්වහන්සේ වෙතට රැස්ව තමුන් විසින් කළාවූද ඉගැන්නුවාවූද සියල්ල උන්වහන්සේට දැන්නුවෝය. එවිට උන්වහන්සේ: නුඹලා පමණක් වනාන්තර ස්ථානයකට ඇවිත් ටිකක් පහසු ගන්නැයි ඔවුන්ට කීසේක. මක්නිසාදයත් ඔවුන්ට කෑම කන්ටවත් අවකාශ නැති තරමට එන්නෝ යන්නෝ බොහෝ වූවෝය. එවිට ඔව්හු පමණක් ඔරුවෙන් වනාන්තර ස්ථානයකට ගියෝය.