ශු. මාර්ක් 3:13-34

ශු. මාර්ක් 3:13-34 SROV

උන්වහන්සේ කන්දට නැගී තමන්වහන්සේ කැමතිවූවන් තමන් ළඟට කැඳෙවුසේක. ඔව්හු උන්වහන්සේ ළඟට ආවෝය. උන්වහන්සේද තමන් සමඟ සිටින පිණිසත්, දේශනාකරන්ට පිටත්කර අරින පිණිසත්, යක්ෂයන් දුරු කිරීමේ බලය දරන පිණිසත්, දොළොස්දෙනෙකු නියමකළසේක. (ඔව්හු කවුරුද යත්:) උන්වහන්සේ විසින් පේතෘස්යයි නම්කළ සීමොන්ද, ගර්ජනාවේ පුත්‍රයෝය යන අර්ථය ඇති බොවනර්ගස්යයි උන්වහන්සේ විසින් නම් තබනලද සෙබදීගේ පුත්‍රවූ යාකොබ් සහ ඔහුගේ සහෝදරවූ යොහන්ද, අන්දෘ සහ පිලිප්ද, බර්තොලොමෙව් සහ මතෙව්ද, තෝමස් සහ අල්පෙවුස්ගේ පුත්‍රවූ යාකොබ්ද, තද්දියුස් සහ කානානියවූ සීමොන්ද, උන්වහන්සේ පාවාදුන් යූදස් ඉස්කාරියොත්ද යන මොව්හුය. උන්වහන්සේ ගෙදරකට පැමිණිසේක. ඔවුන්ට කෑම කන්ට පමණවත් අවකාශ නැතිවන තරමට සමූහයා නැවත රැස්වුණෝය. උන්වහන්සේගේ නෑයෝ ඒ අසා, උන්වහන්සේට ඔල්මාදයයි කියා උන්වහන්සේ අල්ලන්ට ගියෝය. යෙරුසලමෙන් ආවාවූ ලියන්නෝ: මොහුට බෙල්සෙබුබ් ඇත්තේය කියාත් යක්ෂාධිපතියාගේ බලයෙන් මොහු යක්ෂයන් දුරුකරයිය කියාත් කීවෝය. එවිට උන්වහන්සේ ඔවුන් තමන් වෙතට කැඳවා උපමාවලින් කථාකරමින්: සාතන් දුරුකරන්ට සාතන්ට පුළුවන් කොහොමද? යම් රාජ්‍යයක් ඒකටම විරුද්ධව භේද වුණොත් ඒ රාජ්‍යය පවතින්ට නොහැකිය. යම් ගෙයක් ඒකටම විරුද්ධව භේදවුණොත් ඒ ගෙය පවතින්ට නොහැකිවන්නේය. සාතන් තමාටම විරුද්ධව නැගිට භේදවේ නම් ඔහු පවතින්ට නොහැකිව කෙළවරවෙයි. නුමුත් බලවන්තයා පළමුකොට බැඳලා මිස ඔහුගේ ගෙට වැද ඔහුගේ බඩු කොල්ලකන්ට කාටවත් නුපුළුවන; බැඳලාම ඔහුගේ ගෙය කොල්ලකන්නේය. සැබවක් නුඹලාට කියමි–මනුෂ්‍ය පුත්‍රයන්ට ඔවුන්ගේ සියලු පව්ද ඔවුන් දෙවියන්වහන්සේට කරන සියලු ආකාර අපහාසද කමාකරනු ලබන්නේය. නුමුත් ශුද්ධාත්මයාණන්වහන්සේට අපහාස කරන කෙනෙකුට කොයි කලකවත් කමාව නොලැබෙන්නේය, ඔහු සදාකාලික පාපයක් ගැන වරදකාරයෙකැයි කීසේක. මෙසේ කීවේ උන්වහන්සේට අශුද්ධාත්මයක් ඇත්තේයයි ඔවුන් කී බැවින්ය. එවිට උන්වහන්සේගේ මෑණියෝද සහෝදරයෝද ඇවිත් පිටත සිට උන්වහන්සේ කැඳවන්ට යැවුවෝය. සමූහයක් උන්වහන්සේ අවට වාඩිවී උන්නේය. බැලුව මැනව, ඔබවහන්සේගේ මෑණියොත් සහෝදරයොත් පිටත සිට ඔබ සොයතියි ඔව්හු උන්වහන්සේට කීවෝය. උන්වහන්සේ ඔවුන්ට උත්තරදෙමින්: මාගේ මෑණියොත් මාගේ සහෝදරයොත් කවුරුදැයි කියා, තමන් අවට වාඩිවී උන්නවුන් දෙස වටේට බලා: මෙන්න, මාගේ මෑණියොත් මාගේ සහෝදරයොත්!