ශු. මාර්ක් 2:1-11
ශු. මාර්ක් 2:1-11 SROV
උන්වහන්සේ දවස් ගණනකට පසු කපර්ණවුමට නැවත ඇතුල්වූ කල, උන්වහන්සේ ගෙයි සිටින බව ආරංචිවිය. එවිට දොරකඩ ළඟවත් ඉඩ නැති තරමට බොහෝ දෙනෙක් රැස්වූවෝය. උන්වහන්සේ ඔවුන්ට වචනය කීසේක. එකල සතරදෙනෙකු විසින් උසුලනලද අංශභාග රෝගියෙකු රැගෙන ඔව්හු උන්වහන්සේ වෙතට ආවෝය. සමූහයා නිසා උන්වහන්සේ ළගට එන්ට නොහැකිව, ඔව්හු උන්වහන්සේ සිටි තැන සෙවිල්ල හැර, පියස්ස කඩා, අංශභාග රෝගියා ඔත් යහන බැස්සෙවුවෝය. යේසුස්වහන්සේ ඔවුන්ගේ ඇදහිල්ල දැක: පුත්‍රය, නුඹේ පව් කමාකරනලදැයි අංශභාග රෝගියාට කීසේක. එහෙත් එතැන ඉඳගන උන් ලියන්නන්ගෙන් සමහරෙක්: මොහු මෙසේ කථාකරන්නේ මක්නිසාද? මොහු දෙවියන්වහන්සේට අපහාසකරයි. එක්කෙනෙකුට එනම් දෙවියන්වහන්සේට මිස පව් කමාකරන්ට කාට පුළුවන්දැයි තමුන්ගේ සිත්වලින් කල්පනාකරගත්තෝය. ඔවුන් තමුන් තුළ මෙසේ කල්පනාකළ බව යේසුස්වහන්සේ තමන්ගේ ආත්මයෙන් එකෙණෙහිම දැන, ඔවුන්ට කියනසේක්: නුඹලා කුමක් නිසා මේ කාරණා සිතින් කල්පනාකරව්ද? අංශභාග රෝගියාට–නුඹේ පව් කමාකරනලදැයි කීමෙනුත්–නැගිට නුඹේ යහන රැගෙන යන්නැයි කීමෙනුත් වඩා පහසු කෝකද? නුමුත් පොළොවේදී පව් කමාකරන්ට මනුෂ්‍ය පුත්‍රයාට බලය ඇති බව නුඹලා විසින් දැනගන්නා පිණිසය කියා උන්වහන්සේ අංශභාග රෝගියාට කථාකොට: නැගිට නුඹේ යහන රැගෙන ගෙදර යන්නැයි නුඹට කියමියි කීසේක.


