ශු. මාර්ක් 14:32-47

ශු. මාර්ක් 14:32-47 SROV

ඔව්හු ගෙත්සෙමනේ නම්වූ ස්ථානයකට පැමුණුණෝය. උන්වහන්සේද: මා යාච්ඤාකරන අතර නුඹලා මෙහි ඉන්නැයි ගෝලයන්ට කීසේක. උන්වහන්සේ පේතෘස්ද යාකොබ්ද යොහන්ද තමන් සමඟ කැඳවාගෙන ගොස්, බොහෝසෙයින් විස්මපත්වෙන්ටත් අතිශයින් කැලඹෙන්ටත් පටන් ගත්සේක. උන්වහන්සේ ඔවුන්ට කථාකොට: මැරෙන තරම් මාගේ සිත ඉතා ශෝකවෙයි. නුඹලා මෙහි නැවතී අවදිව සිටින්නය කියා, මඳක් ඉස්සරහට ගොස්, බිම වැටී, පුළුවන් නම් ඒ පැය තමන් කෙරෙන් පහව යන ලෙස යාච්ඤාකරමින්: අබ්බා පියාණෙනි, ඔබට සියල්ලම පුළුවන; මේ කුසලාන මාගෙන් පහකළ මැනව. එසේ වී නුමුත් මා කැමති දේ නොව ඔබ කැමති දේ වේවයි කීසේක. උන්වහන්සේ ඇවිත් ඔවුන් නිදාඉන්නවා දැක, පේතෘස්ට කථාකොට: සීමොන්, නුඹ නිදාඉන්නවාද? නුඹට එක පැයක් අවදිව ඉන්ට බැරිවුණ ද? නුඹලා පරීක්ෂාවට නොපැමිණෙන පිණිස අවදිව හිඳ යාච්ඤාකරන්න. ආත්මය නම් කැමතිය, නුමුත් මාංසය දුර්වලයයි කීසේක. උන්වහන්සේ නැවතත් ගොස් එම වචනම කියා යාච්ඤාකළසේක. උන්වහන්සේ නැවත හැරී ඇවිත්, ඔවුන් නිදාඉන්නවා දුටුසේක, මක්නිසාද ඔවුන්ගේ ඇස් ඉතා නිදිබරව තිබුණේය; උන්වහන්සේට මොන උත්තරයක් දෙන්ටදැයි ඔව්හු නොදැන සිටියෝය. උන්වහන්සේ තුන්වෙනි වර ඇවිත් ඔවුන්ට කියනසේක්: දැන් නිදාගන නිවාඩු ගන්න; ඉතින් ඇත; පැය පැමිණ තිබේ; මෙන්න, මනුෂ්‍ය පුත්‍රයා පව්කාරයන්ගේ අත්වලට පාවාදෙනු ලබයි. නැගිටින්න, අපි යමු. මෙන්න, මා පාවාදෙන්නා ළඟයයි කීසේක. එකෙණෙහිම, උන්වහන්සේ කථාකරද්දීම, දොළොස්දෙනාගෙන් එක්කෙනෙක්වූ යූදස්ද ඔහු සමඟ නායක පූජකයන් ලියන්නන් හා වැඩිමහල්ලන් කෙරෙන් සමූහයක්ද කඩු මුගුරු රැගෙන ආවෝය. උන්වහන්සේ පාවාදෙන්නා කථාකොට: මම යමෙකු සිඹගනිම්ද ඒ ඔහුය; ඔහු අල්ලා ප්‍රවේසමෙන් අරගන යන්නැයි ලකුණක් ඔවුන්ට දී තිබුණේය. ඔහු ආ කෙණෙහිම උන්වහන්සේ ළඟට පැමිණ: රබ්බි කියා උන්වහන්සේ සිඹගත්තේය. ඔව්හුද උන්වහන්සේ පිට අත්හෙළා උන්වහන්සේ අල්ලාගත්තෝය. ළඟ සිටියවුන්ගෙන් එක්කෙනෙක් කඩුව ඇද උත්තම පූජකයාගේ දාසයාට ගසා ඔහුගේ කන කපාදැමීය.