ශු. මතෙව් 9:1-13

ශු. මතෙව් 9:1-13 SROV

එකල උන්වහන්සේ ඔරුවකට නැගී එගොඩවී තමන්ගේම නුවරට පැමිණිසේක. එවිට, ඔව්හු ඇඳක ඔත්පළව හුන් අංශභාග රෝගියෙකු උන්වහන්සේ ළඟට ගෙනාවෝය. යේසුස්වහන්සේ ඔවුන්ගේ ඇදහිල්ල දැක: පුත්‍රය, ධෛර්යවත්වෙන්න; නුඹේ පව් කමාකරනලද්දේයයි අංශභාග රෝගියාට කීසේක. එකල ලියන්නන්ගෙන් සමහරෙක්: මොහු දෙවියන්වහන්සේට අපහාසකරන්නේයයි තමුන් තුළ කියාගත්තෝය. යේසුස්වහන්සේ ඔවුන්ගේ සිතිවිලි දැන: කුමක් නිසා නුඹලා නුඹලාගේ සිත්වලින් නපුරු දේ සිතන්නහුද? වඩා පහසු කොයි එකද? නුඹේ පව් නුඹට කමාකරනලදැයි කීමද? නොහොත්: නැගිට ඇවිදින්නැයි කීමද? නුමුත් පොළොවෙහිදී පව්කමාකරන්ට මනුෂ්‍ය පුත්‍රයාට බලය තිබෙන බව නුඹලා විසින් දැනගන්නා පිණිසයයි කියා: නැගිට නුඹේ ඇඳ අරගෙන නුඹේ ගෙදරට යන්නැයි අංශභාග රෝගියාට කීසේක. එවිට ඔහු නැගිට තමාගේ ගෙදරට ගියේය. නුමුත් සමූහයෝ ඒ දැක භයවී, මෙබඳු බලය මනුෂ්‍යයන්ට දුන් දෙවියන්වහන්සේට ගෞරවකළෝය. යේසුස්වහන්සේ එතැනින් යන අතර මතෙව් නම් මනුෂ්‍යයෙක් සුංගම් අයකරන තැන වාඩිවී ඉන්නවා දැක: මා අනුව එන්නැයි ඔහුට කීසේක. ඔහු නැගිට උන්වහන්සේ අනුව ගියේය. තවද යේසුස්වහන්සේගෙයි කෑමට හුන් කල්හි බොහෝ සුංගම් අයකරන්නෝද පව්කාරයෝද ඇවිත් උන්වහන්සේ සහ උන්වහන්සේගේ ගෝලයන් සමඟ හිඳගත්තෝය. ඵරිසිවරු ඒ දැක: නුඹලාගේ ආචාරීන්වහන්සේ සුංගම් අයකරන්නන්ද පව්කාරයන්ද සමඟ කන්නේ මක්නිසාදැයි උන්වහන්සේගේ ගෝලයන්ට කීවෝය. උන්වහන්සේ ඒ අසා ඔවුන්ට කියනසේක්: රෝගීන්ට මිස නිරෝගීන්ට වෙදාගෙන් කම් නැත. නුමුත්–මම පූජාවට නොව දයාවට කැමැත්තෙමියි යන කීමේ අර්ථය නුඹලා ගොස් ඉගෙනගන්න. මක්නිසාද මම පව්කාරයන් මිස ධර්මිෂ්ඨයන් කැඳවන්ට නාවෙමියි කීසේක.

ශු. මතෙව් 9:1-13 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය