ශු. මතෙව් 6:16-34

ශු. මතෙව් 6:16-34 SROV

තවද නුඹලා නිරාහාරයෙන් ඉන්න කල්හි වංචාකාරයන් මෙන් දුක්ඛිත මුහුණක් ඇතුව නොසිටින්න. ඔව්හු නිරාහාරයෙන් ඉන්න බව මනුෂ්‍යයන්ට පෙනෙන පිණිස තමුන්ගේ මුහුණු විරූප කරගනිති. සැබවක් නුඹලාට කියමි: ඔවුන්ගේ විපාකය ඔවුන්ට ලැබී තිබේ. නුමුත් නුඹ නිරාහාරයෙන් ඉන්න කල්හි රහසිගතව වසන නුඹේ පියාණන්වහන්සේට මිස නුඹ නිරාහාරයෙන් ඉන්න බව මනුෂ්‍යයන්ට නොපෙනෙන පිණිස, නුඹේ හිසේ තෙල් ගා, මුහුණ සෝදා ගන්න; එවිට රහසින් දකින නුඹේ පියාණන්වහන්සේ ඔබට විපාක දෙනසේක. පොළොවෙහි නුඹලාට වස්තු රැස්කර නොතබන්න; එහිදී කාවෝද මළකඩද ඒවා නාස්තිකරති, සොරුද උමංකැන සොරාගනිති. නුමුත් ස්වර්ගයෙහි නුඹලාට වස්තු රැස්කර තබා ගන්න; එහිදී කාවෝවත් මළකඩවත් ඒවා නාස්ති නොකරති, සොරු උමංකැන සොරා නොගනිති. මක්නිසාද නුඹේ වස්තුව යම් තැනෙක්හිද නුඹේ සිතත් එතැන්හිම වන්නේය. ශරීරයේ පහන නම් ඇසය. එහෙයින් නුඹේ ඇස පැහැදිලි නම්, නුඹේ මුළු ශරීරය එළිය වන්නේය. නුඹේ ඇස නපුරුනම්, නුඹේ මුළු ශරීරය අඳුරු වන්නේය. එබැවින් නුඹ තුළ තිබෙන එළිය අඳුරුනම් ඒ අඳුර කොපමණ මහත්ද! ස්වාමිවරුන් දෙදෙනෙකුට සේවයකරන්ට කිසිවෙකුට නුපුළුවන. මක්නිසාද ඔහු එක්කෙනෙකුට වෛරවී අනික් අයට ප්‍රියවන්නේය; නොහොත් එක්කෙනෙකුට ඇලුම්වී අනික් අය හෙළාදකින්නේය. දෙවියන්වහන්සේට සහ වස්තුවටත් සේවයකරන්ට නුඹලාට නුපුළුවන. එහෙයින් නුඹලාට කියමි: කුමක් කමුද කුමක් බොමුද කියා ජීවිතය ගැනවත්, කුමක් අඳිමුද කියා ශරීරය ගැනවත් කනස්සලු නොවෙන්න. කෑමට වඩා ජීවිතයද ඇඳුමට වඩා ශරීරයද උතුම් නොවේද? ආකාශයේ පක්ෂීන් බලන්න, උන් වපුරන්නේවත් කපාගන්නේවත් අටුවල රැස්කරගන්නේවත් නැත; නුඹලාගේ ස්වර්ගීය පියාණන්වහන්සේද උන් පෝෂණය කරනසේක. නුඹලා උන්ට වඩා බොහෝ වටිනවා නොවේද? කනස්සලුවීමෙන් තමාගේ උසට එක රියනක් එක්කරගන්ට නුඹලා අතරෙන් කවරෙකුට පුළුවන්ද? නුඹලා ඇඳුම් ගැන කුමක් නිසා කනස්සලුවන්නහුද? කෙතේ මානෙල් වැඩෙන හැටි කල්පනා කරන්න; ඒවා වෙහෙසෙන්නේවත් නූල් කටින්නේවත් නැත. එහෙත් සාලමොන් පවා ස්වකීය සියලු ඓශ්චර්යයෙහිදී ඒවායින් එකක් ලෙස පැළඳී නොසිටියේයයි නුඹලාට කියමි. මඳ ඇදහිල්ල ඇත්තෙනි, අද තිබී හෙට උදුනෙහි දමනු ලබන්නාවූ කෙතේ තෘණ දෙවියන්වහන්සේ මෙසේ පළඳවනසේක් නම්, ඊට වඩා කොපමණ වැඩියෙන් නුඹලා නොපළඳවනසේක්ද? එහෙයින් කුමක් කමුද කුමක් බොමුද කුමක් අඳිමුද කියමින් කනස්සලු නොවෙන්න. මක්නිසාද මේ සියල්ල අන්‍ය ජාතීහු සොයති; මේ සියල්ල නුඹලාට ඕනෑ බව නුඹලාගේ ස්වර්ගීය පියාණන්වහන්සේ දන්නාසේක. නුමුත් පළමුකොට උන්වහන්සේගේ රාජ්‍යයද උන්වහන්සේගේ ධර්මිෂ්ඨකමද සොයන්න; මේ සියල්ලත් නුඹලාට දෙනුලබන්නේය. එබැවින් හෙට දවස ගැන කනස්සලු නොවෙන්න. හෙට දවස ඒ ගැනම කරදරවන්නේය. දවසේ කරදරය ඒ දවසට සෑහෙයි.