ශු. මතෙව් 5:27-48

ශු. මතෙව් 5:27-48 SROV

කාමමිථ්‍යාචාරය නොකරවයි කී බව නුඹලා අසා තිබේ. නුමුත් මම නුඹලාට කියමි: ස්ත්‍රියෙකු දෙස රාගයෙන් බලන කවරෙක් නුමුත් එවේලේම ඈ සමඟ සිතින් කාමමිථ්‍යාචාරය කෙළේය. නුඹේ දකුණු ඇස ඔබට බාධාකෙරේ නම්, ඒක උගුළා අහකට දමන්න. මක්නිසාද නුඹේ මුළු ශරීරය නිරයෙහි හෙළනු ලැබීමට වඩා, නුඹේ අවයවවලින් එකක් නැතිවීම ඔබට යහපත. නුඹේ දකුණු අත ඔබට බාධාකෙරේ නම්, ඒක කපා අහකදමන්න. මක්නිසාද නුඹේ මුළු ශරීරය නිරයට යාමට වඩා, නුඹේ අවයවවලින් එකක් නැතිවීම ඔබට යහපත. ඇරත්, තමාගේ භාර්යාව අත්හරින කවරෙක් නුමුත් ඈට අත්හැරීම් පත්‍රයක් දේවයි කියා තිබුණේය. මම නුඹලාට කියමි: වේශ්‍යාකමට මිස වෙන කාරණයකට තමාගේ භාර්යාව අත්හරින කවරෙක් නුමුත් ඇය කාමමිථ්‍යාචාරයට පමුණුවන්නේය. යමෙක් අත්හරිනු ලැබූ ඇය විවාහකරගන්නේ නම් ඔහුත් කාමමිථ්‍යාචාරය කරන්නේය. බොරුවට නොදිවුරව, ස්වාමීන්වහන්සේට නුඹේ දිවුරුම් ඉෂ්ටකරවයි පුරාතනයන්ට කී බවත් නුඹලා අසා තිබේ. නුමුත් මම නුඹලාට කියමි: කිසිසේත් නොදිවුරන්න; ස්වර්ගය දෙවියන්වහන්සේගේ සිංහාසනය බැවින් ඒක ගැනවත්, පොළොව දෙවියන්වහන්සේගේ පාපුටුව බැවින් ඒක ගැනවත්, යෙරුසලම මහරජහුගේ නුවර බැවින් ඒක ගැනවත් නොදිවුරන්න. එක හිසකෙසක් සුදුකරන්ටවත් කළුකරන්ටවත් ඔබට නොහැකි බැවින් හිස ගැනත් නොදිවුරන්න. නුඹලාගේ වචනය: එසේය, එසේය කියාද: නැත, නැත කියාද වේවා. මීට වැඩිවූ යමක් ඇද්ද එය නපුරාගෙන් වේ. ඇසකට ඇසක්ය, දතකට දතක්යයි කී බව නුඹලා අසා තිබේ. නුමුත් මම නුඹලාට කියමි: නපුරු අය සමඟ පොරට නොසිටින්න. යමෙක් නුඹේ දකුණු කම්මුලට ගැසී නම් ඔහුට අනික් කම්මුලද හරවන්න. යමෙක් නඩු කියා නුඹේ අඳනය ගන්ට කැමතිවීනම්, ඔහුට නුඹේ උතුරු සළුවත් ගන්ට ඉඩඅරින්න. යමෙක් එක හැතැප්මක් යන්ට ඔබට බලාත්කාරකෙරේද, ඔහු සමඟ හැතැප්ම දෙකක් යන්න. නුඹෙන් ඉල්ලන්නාට දෙන්න, නුඹෙන් ණය ගන්ට කැමති තැනැත්තාට පිටු නොපාන්න. නුඹේ අසල්වාසියාට ප්‍රේමකරව, නුඹේ සතුරාට වෛරකරවයි කී බව නුඹලා අසා තිබේ. නුමුත් මම නුඹලාට කියමි: නුඹලාගේ සතුරන්ට ප්‍රේමකරන්න, නුඹලාට පීඩාකරන්නන් උදෙසා යාච්ඤාකරන්න; මෙසේ නුඹලා ස්වර්ගයෙහි සිටින නුඹලාගේ පියාණන්වහන්සේගේ පුත්‍රයෝ වන්නෝය. මක්නිසාද උන්වහන්සේ නපුරන්ටත් යහපතුන්ටත් තමන් ඉර උදාකරවනසේක, ධර්මිෂ්ඨයන්ටත් අධර්මිෂ්ඨයන්ටත් වැසි වස්වනසේක. නුඹලාට ප්‍රේමකරන්නන්ටම නුඹලා ප්‍රේමකරනවා නම්, නුඹලාට කවර විපාකයක්ද? සුංගම් අයකරන්නෝ පවා එසේ නොකරද්ද? නුඹලාගේ සහෝදරයන්ට පමණක් ආචාරකරනවානම් නුඹලා අනුන්ට වඩා කුමක් කරන්නහුද? අන්‍ය ජාතීහු පවා එසේ නොකරද්ද? එබැවින් නුඹලාගේ ස්වර්ගීය පියාණන්වහන්සේ සම්පූර්ණව සිටින්නාක්මෙන් නුඹලාත් සම්පූර්ණව සිටින්න.