ශු. මතෙව් 5:21-32

ශු. මතෙව් 5:21-32 SROV

මිනී නොමරව, මිනීමරන කවරෙක් නුමුත් විනිශ්චයට සුදුස්සෙකැයි පුරාතනයන්ට කී බව නුඹලා අසා තිබේ. නුමුත් මම නුඹලාට කියමි: තමාගේ සහෝදරයාට කෝපවෙන කවරෙක් නුමුත් විනිශ්චයට සුදුස්සෙක් වන්නේය. තමාගේ සහෝදරයාට රකායයි කියන කවරෙක් නුමුත් මන්ත්‍රණ සභාවෙන් දඬුවම් ලබන්ට සුදුස්සෙක් වන්නේය, නුඹ ජඩයායයි කියන කවරෙක් නුමුත් නිරාගින්නට සුදුස්සෙක් වන්නේය. එබැවින් නුඹේ පඬුර පූජාසනය ළඟ පුදන කල්හි, නුඹේ සහෝදරයා නුඹ කෙරෙහි යම් විරුද්ධයක් ඇති බව එහිදී නුඹට සිහිවී නම්, නුඹේ පඬුර පූජාසනය ඉදිරියෙහි තබා ගොස්, පළමුකොට නුඹේ සහෝදරයා හා සමඟිවී, පසුව ඇවිත් නුඹේ පඬුර පුදන්න. නුඹේ විරුද්ධකාරයා සමඟ පාරේ යන කල්හිම ඉක්මනින් ඔහු හා සමඟිවෙන්න; නැත්නම් විරුද්ධකාරයා නුඹ විනිශ්චයකාරයාට භාරදෙන්නේය, විනිශ්චයකාරයා නුඹ සේවකයාට භාරදෙන්නේය, නුඹද හිරගෙයි දමනු ලබන්නෙහිය. සැබවක් නුඹට කියමි: අන්තිම සල්ලිය ගෙවනතුරු නුඹ කිසිසේත් එයින් පිටවී නොඑන්නෙහිය. කාමමිථ්‍යාචාරය නොකරවයි කී බව නුඹලා අසා තිබේ. නුමුත් මම නුඹලාට කියමි: ස්ත්‍රියෙකු දෙස රාගයෙන් බලන කවරෙක් නුමුත් එවේලේම ඈ සමඟ සිතින් කාමමිථ්‍යාචාරය කෙළේය. නුඹේ දකුණු ඇස ඔබට බාධාකෙරේ නම්, ඒක උගුළා අහකට දමන්න. මක්නිසාද නුඹේ මුළු ශරීරය නිරයෙහි හෙළනු ලැබීමට වඩා, නුඹේ අවයවවලින් එකක් නැතිවීම ඔබට යහපත. නුඹේ දකුණු අත ඔබට බාධාකෙරේ නම්, ඒක කපා අහකදමන්න. මක්නිසාද නුඹේ මුළු ශරීරය නිරයට යාමට වඩා, නුඹේ අවයවවලින් එකක් නැතිවීම ඔබට යහපත. ඇරත්, තමාගේ භාර්යාව අත්හරින කවරෙක් නුමුත් ඈට අත්හැරීම් පත්‍රයක් දේවයි කියා තිබුණේය. මම නුඹලාට කියමි: වේශ්‍යාකමට මිස වෙන කාරණයකට තමාගේ භාර්යාව අත්හරින කවරෙක් නුමුත් ඇය කාමමිථ්‍යාචාරයට පමුණුවන්නේය. යමෙක් අත්හරිනු ලැබූ ඇය විවාහකරගන්නේ නම් ඔහුත් කාමමිථ්‍යාචාරය කරන්නේය.