ශු. මතෙව් 27:33-56

ශු. මතෙව් 27:33-56 SROV

ඔව්හු ඉස්කබල ස්ථානය යන අර්ථ ඇති ගොල්ගොතා නම් ස්ථානයකට පැමිණ, තික්ත මිශ්‍රකළ මුද්‍රිකපානය උන්වහන්සේට බොන්ට දුන්නෝය. උන්වහන්සේ රස බලා බොන්ට නොකැමතිවූසේක. උන්වහන්සේ කුරුසියෙහි ඇණගැසූ පසු ඔව්හු උන්වහන්සේගේ ඇඳුම් දාදුදමා බෙදාගත්තෝය. ඔව්හු එහි හිඳගන උන්වහන්සේ රැකවල්කළෝය. තවද; මොහු යුදෙව්වරුන්ගේ රජවූ යේසුස්ය කියා උන්වහන්සේගේ වරද ලියා උන්වහන්සේගේ හිසට උඩින් තැබුවෝය. එවිට සොරු දෙදෙනෙක්, එක්කෙනෙක් දකුණු පැත්තෙහිද එක්කෙනෙක් වම් පැත්තෙහිද, උන්වහන්සේ සමඟ කුරුසියෙහි ඇණගසනු ලැබුවෝය. මග යන්නෝ තමුන්ගේ හිස් වන වනා උන්වහන්සේට නින්දාකරමින්: දේවමාළිගාව කඩාදමා තුන් දවසකින් ගොඩනගන්නාවූ නුඹ නුඹම ගළවා ගන්න. නුඹ දෙවියන්වහන්සේගේ පුත්‍රයා නම් කුරුසියෙන් බසින්නැයි කීවෝය. ඒ ආකාරයෙන්ම නායක පූජකයොත් ලියන්නන් හා වැඩිමහල්ලන් සමඟ උන්වහන්සේට කවටකම් කොට: ඔහු අනුන් ගැළවුවේය; තමාම ගළවාගන්ට නුපුළුවන. ඔහු ඉශ්‍රායෙල්වරුන්ගේ රජය; ඔහු දැන් කුරුසියෙන් බසීවා, එවිට අපි ඔහු අදහාගන්නෙමුව. ඔහු දෙවියන්වහන්සේ කෙරේ විශ්වාස කරන්නේය; උන්වහන්සේ ඔහුට ප්‍රිය වනසේක්නම් දැන් ඔහු මුදාහරිනසේක්වා. මක්නිසාද–මම දෙවියන්වහන්සේගේ පුත්‍රයෙමියි ඔහු කීවේයයි කීවෝය. උන්වහන්සේ සමඟ කුරුසියෙහි ඇණගසනලද්දාවූ සොරුද එසේම උන්වහන්සේට නින්දාකළෝය. සවෙනි පැය පටන් නවවෙනි පැය දක්වා දේශය මුළුල්ලෙහි අන්ධකාරයක් විය. නවවෙනි පැය පමණේදී යේසුස්වහන්සේ: ඒලී, ඒලී, ලාමා සබක්තානි කියා මහත් ශබ්දයකින් මොරගැසූසේක. එහි අර්ථය නම්, මාගේ දෙවියනි, මාගේ දෙවියනි, ඔබ මා අත්හැරියේ මක්නිසාද යනුයි. එහි සිටියවුන්ගෙන් සමහරෙක් ඒ අසා: මොහු එලියාට අඬගසන්නේයයි කීවෝය. එකෙණෙහිම ඔවුන්ගෙන් එක්කෙනෙක් දිව ගොස්, මූදූහත්තක් ගෙන කාඩියෙන් පොඟවා බටදණ්ඩක ගසා, උන්වහන්සේට බොන්ට දුන්නේය. සෙස්සෝ කථාකොට: නිකම් සිටින්න; මොහු ගළවන්ට එලියා එන්නේද කියා බලමුයයි කීවෝය. යේසුස්වහන්සේ නැවතත් මහත් ශබ්දයකින් හඬනගා ආත්මය හළසේක. බලව, දේවමාළිගාවේ තිරය ඉහළ පටන් පහළට දෙකඩව ඉරුණේය; පොළොව කම්පාවූවාය; පර්වත පැළුණේය; සොහොන් ගෙවල්ද ඇරුණේය; සැතපී හුන්නාවූ නොයෙක් ශුද්ධවරයන්ගේ ශරීර නැගුටුවනලදුව, ඔව්හු උන්වහන්සේ නැගුටුණු පසු සොහොන් ගෙවලින් නික්ම ශුද්ධ නුවරට ඇතුල්ව, බොහෝ දෙනෙකුට පෙනුණේය. සියයකට මුලාදෑනියාද ඔහු සමඟ යේසුස්වහන්සේ රැකවල්කරමින් සිටි අයද පොළෝකම්පාවත් සිදුවූ දේත් දැක ඉතා භයපත්ව: සැබවින්ම මුන්වහන්සේ දෙවියන්වහන්සේගේ පුත්‍රයායයි කීවෝය. යේසුස්වහන්සේට උපස්ථාන කරමින් ගලීලයේ සිට උන්වහන්සේ කැටුව ආවාවූ බොහෝ ස්ත්‍රීවරුත් එහි දුරින් බලා සිටියෝය. ඔවුන් අතරෙහි මග්දලායේ මරියාද යාකොබ් සහ යෝසෙස්ගේ මවුවූ මරියාද සෙබදීගේ පුත්‍රයන්ගේ මෑණියෝද සිටියෝය.

මෙයට අදාළ වීඩියෝ