ශු. මතෙව් 26:6-29

ශු. මතෙව් 26:6-29 SROV

යේසුස්වහන්සේ බෙතානියෙහි කුෂ්ඨ රෝගීවූ සීමොන්ගේ ගෙදර සිටියදී ස්ත්‍රියෙක් ඉතා අනර්ඝවූ සුවඳ තෙලින් පිරෙවු සුදු ගල් කරඬුවක් ගෙන උන්වහන්සේ ළඟට ඇවිත්, කෑමට හිඳගන හුන් උන්වහන්සේගේ හිසේ වත්කළාය. නුමුත් ගෝලයෝ ඒ දැක කිපී: මේ නාස්තිය කළේ කුමටද? මක්නිසාද මේ තෙල ලොකු ගණනකට විකුණා දිළිඳුන්ට දෙන්ට පුළුවන්ව තිබුණේයයි කීවෝය. නුමුත් යේසුස්වහන්සේ ඒක දැන: කුමට නුඹලා මේ ස්ත්‍රීට කරදරකරනවාද? ඈ මට යහපත් ක්‍රියාවක් කළාය. මක්නිසාදයත් දිළින්දෝ නුඹලා සමඟ නිතරම සිටිති; නුමුත් මම නුඹලා සමඟ නිතරම නොසිටිමි. ඈ මේ තෙල මාගේ ශරීරයේ වත්කළේ මා තැන්පත්කිරීමට සූදානම් කරන පිණිසය. සැබවක් නුඹලාට කියමි-මේ ශුභාරංචිය ලොව මුළුල්ලේ යම් තැනක ප්‍රකාශකරනු ලබන්නේද එතැනදී මේ ස්ත්‍රිය විසින් කළ මේ ක්‍රියාවත් ඈ සිහිකිරීමක් පිණිස කියනු ලබන්නේයයි කීසේක. එවිට යූදස් ඉස්කාරියොත් නම් දොළොස්දෙනාගෙන් එක්කෙනෙක් නායක පූජකයන් ළඟට ගොස්: ඔහු නුඹලාට පාවාදෙන්ට නුඹලා මට දෙන්ට කැමති මොනවාදැයි ඇසුවේය. ඔව්හු රිදී මිල තිහක් ඔහුට කිරා දුන්නෝය. එතැන් පටන් ඔහු උන්වහන්සේ පාවාදෙන්ට ප්‍රස්තාවක් සෙවීය. මුහුන් නොදැමූ රොටි කන පළමුවෙනි දවසේ ගෝලයෝ යේසුස්වහන්සේ ළඟට ඇවිත්: ඔබ පාස්කුව කන පිණිස අප විසින් කොතැන පිළියෙළකරනවාට කැමතිසේක්දැයි ඇසුවෝය. උන්වහන්සේ: නුවර අසවලා ළඟට ගොස් ඔහුට කථාකොට–මාගේ කාලය ආසන්නය; මාගේ ගෝලයන් සමඟ නුඹේ ගෙදරදී පාස්කුව පවත්වමියි ආචාරීන්වහන්සේ කියනසේකැයි ඔහුට කියන්නැයි කීසේක. ගෝලයෝ යේසුස්වහන්සේ ඔවුන්ට අණකළ ලෙස කොට, පාස්කුව පිළියෙළකළෝය. සවස්වූ කල්හි උන්වහන්සේ ගෝලයන් දොළොස්දෙනා සමඟ කෑමට වාඩිවහුන්සේක; ඔවුන් කමින් සිටියදී උන්වහන්සේ කථාකොට: සැබවක් නුඹලාට කියමි–නුඹලාගෙන් එක්කෙනෙක් මා පාවාදෙන්නේයයි කීසේක. ඔව්හු අතිශයෙන් ශෝකව එකිනෙකා: ස්වාමිනි, මමද මමදැයි අසන්ට පටන්ගත්තෝය. උන්වහන්සේ උත්තරදෙමින්: මා සමඟ තලියේ අත ලෑ තැනැත්තේම මා පාවා දෙන්නේය. මනුෂ්‍ය පුත්‍රයා ගැන ලියා තිබෙන හැටියට ඔහු යන්නේය. නුමුත් මනුෂ්‍ය පුත්‍රයා පාවාදෙන ඒ මනුෂ්‍යයාට දුක්වේ! ඒ මනුෂ්‍යයා නූපන්නා නම් ඔහුට යහපතැයි කීසේක. උන්වහන්සේ පාවාදුන් යූදස්ද උත්තර දෙමින්: රබ්බී, ඒ මමදැයි ඇසුවේය. නුඹ කීවෙහියයි උන්වහන්සේ ඔහුට කීසේක. ඔවුන් කමින් සිටියදී යේසුස්වහන්සේ රොටි ගෙන ආශීර්වාදකොට කඩා ගෝලයන්ට දී: රැගෙන කන්න; මේක මාගේ ශරීරයයයි කීසේක. උන්වහන්සේ කුසලානක් ගෙන ස්තුතිකොට ඔවුන්ට දී: නුඹලා සියල්ලෝම මෙයින් බොන්න; මේක පව් කමාව පිණිස බොහෝදෙනා උදෙසා වගුරුවන අලුත් ගිවිසුමේ මාගේ ලේය. එහෙත් මාගේ පියාණන්ගේ රාජ්‍යයෙහිදී මා නුඹලා සමඟ අලුත් මුද්‍රිකපානය බොන දවස දක්වා මෙතැන් පටන් මේ මිදිඵල යුස නොබොන්නෙමියි නුඹලාට කියමියි කීසේක.