ශු. මතෙව් 26:47-56
ශු. මතෙව් 26:47-56 SROV
උන්වහන්සේ කථාකරද්දීම, බලව, දොළොස්දෙනාගෙන් එක්කෙනෙක්වූ යූදස්ද ඔහු සමඟ නායක පූජකයන් හා සෙනඟගේ වැඩිමහල්ලන් කෙරෙන් කඩු මුගුරු ගත් මහත්වූ සමූහයක්ද ආවෝය. උන්වහන්සේ පාවාදෙන්නා: මම යමෙකු සිඹගනිම්ද ඒ උන්වහන්සේය. උන්වහන්සේ අල්ලාගන්නය කියා ඔවුන්ට ලකුණක් දී තිබුණේය. එකෙණෙහිම ඔහු යේසුස්වහන්සේ ළඟට ඇවිත්: රබ්බි, ශුභසිද්ධවේවා කියා උන්වහන්සේ සිඹගත්තේය. යේසුස්වහන්සේද: මිත්‍රය, නුඹ කරන්ට ආ දෙය කරන්නැයි ඔහුට කීසේක. එවිට ඔව්හු ඇවිත් යේසුස්වහන්සේ පිට අත් තබා උන්වහන්සේ අල්ලාගත්තෝය. යේසුස්වහන්සේ සමඟ සිටියවුන්ගෙන් එක්කෙනෙක් තමාගේ අත දිගුකොට කඩුව ඇද, උත්තම පූජකයාගේ දාසයාට ගසා ඔහුගේ කන කපාදැමීය. එවිට යේසුස්වහන්සේ: නුඹේ කඩුව කොපුවේ දමන්න. මක්නිසාද කඩු ගන්න සියල්ලෝ කඩුවෙන්ම විනාශවන්නෝය. දේවදූතයන් ලෙගියොන් දොළොසකට වඩා මා ළඟට මේ දැන් එවන ලෙස මාගේ පියාණන්ගෙන් ඉල්ලන්ට මට බැරියයි නුඹ සිතනවාද? එසේ ඉල්ලුවොත්, මේ ආකාර වෙන්ට ඕනෑයයි කියන ලියවිලි සම්පූර්ණවෙන්නේ කොහොමදැයි ඔහුට කීසේක. ඒ පැයේදී යේසුස්වහන්සේ සමූහයන්ට කථාකොට: නුඹලා සොරෙකුට විරුද්ධව මෙන් කඩු මුගුරු රැගෙන මා අල්ලන්ට ආවහුද? මා දේවමාළිගාවේ උගන්වමින් දවස්පතා හිඳිද්දී නුඹලා මා ඇල්ලුවේ නැත. නුමුත් මේ සියල්ල සිද්ධවූයේ අනාගතවක්තෘවරුන්ගේ ලියවිලි සම්පූර්ණවන පිණිසයයි කීසේක. එවිට ගෝලයන් සියල්ලෝම උන්වහන්සේ අත්හැර පලාගියෝය.


