ශු. මතෙව් 26:36-44

ශු. මතෙව් 26:36-44 SROV

එකල යේසුස්වහන්සේ ඔවුන් සමඟ ගෙත්සෙමනය කියන ස්ථානයට පැමිණ: මා අතනට ගොස් යාච්ඤාකරන අතර නුඹලා මෙහි ඉඳින්නැයි තමන් ගෝලයන්ට කීසේක. උන්වහන්සේ පේතෘස්ද සෙබදීගේ පුත්‍රයන් දෙදෙනාද කැඳවාගෙන ගොස්, ශෝකවෙන්ටත් අතිශයින් කැලඹෙන්ටත් පටන්ගත්සේක. එකල උන්වහන්සේ ඔවුන්ට කථාකොට: මැරෙන තරම් මාගේ ආත්මය ඉතා ශෝක සහිතය. නුඹලා මෙහි නැවතී මා සමඟ අවදිව සිටින්නැයි කීසේක. උන්වහන්සේ මඳක් ඉස්සරහට ගොස් මුහුණින් වැටී: අහෝ මාගේ පියාණෙනි, මේ කුසලාන මා කෙරෙන් පහවෙන්ට පුළුවන් නම් එසේ වේවා. එසේවී නුමුත් මා කැමතිලෙස නොව ඔබ කැමති ලෙස වේවයි කියා යාච්ඤාකළසේක. උන්වහන්සේ ගෝලයන් ළඟට ඇවිත් ඔවුන් නිදාඉන්නවා දැක, පේතෘස්ට කථාකොට: කිමෙක්ද? මා සමඟ එක පැයක්වත් අවදිව ඉන්ට නුඹලාට බැරි වුණාද? නුඹලා පරීක්ෂාවට නොපැමිණෙන පිණිස අවදිව ඉඳ යාච්ඤාකරන්න. ආත්මය නම් කැමතිය, නුමුත් මාංසය බෙලහීනයයි කීසේක. උන්වහන්සේ නැවත දෙවෙනි වරත් අහක්ව ගොස්: අහෝ මාගේ පියාණෙනි, මේක මා විසින් නොබී පහවෙන්ට බැරි නම්, ඔබගේ කැමැත්තවේවයි කියා යාච්ඤාකළසේක. උන්වහන්සේ නැවත ඇවිත් ඔවුන් නිදා ඉන්නවා දුටුසේක, මක්නිසාද ඔවුන්ගේ ඇස් නිදිබරව තිබුණේය. නැවතත් උන්වහන්සේ ඔවුන් අත්හැර ගොස්, තුන්වෙනි වරත් ආයෙත් එම වචන කියා යාච්ඤාකළසේක.