ශු. මතෙව් 26:14-56

ශු. මතෙව් 26:14-56 SROV

එවිට යූදස් ඉස්කාරියොත් නම් දොළොස්දෙනාගෙන් එක්කෙනෙක් නායක පූජකයන් ළඟට ගොස්: ඔහු නුඹලාට පාවාදෙන්ට නුඹලා මට දෙන්ට කැමති මොනවාදැයි ඇසුවේය. ඔව්හු රිදී මිල තිහක් ඔහුට කිරා දුන්නෝය. එතැන් පටන් ඔහු උන්වහන්සේ පාවාදෙන්ට ප්‍රස්තාවක් සෙවීය. මුහුන් නොදැමූ රොටි කන පළමුවෙනි දවසේ ගෝලයෝ යේසුස්වහන්සේ ළඟට ඇවිත්: ඔබ පාස්කුව කන පිණිස අප විසින් කොතැන පිළියෙළකරනවාට කැමතිසේක්දැයි ඇසුවෝය. උන්වහන්සේ: නුවර අසවලා ළඟට ගොස් ඔහුට කථාකොට–මාගේ කාලය ආසන්නය; මාගේ ගෝලයන් සමඟ නුඹේ ගෙදරදී පාස්කුව පවත්වමියි ආචාරීන්වහන්සේ කියනසේකැයි ඔහුට කියන්නැයි කීසේක. ගෝලයෝ යේසුස්වහන්සේ ඔවුන්ට අණකළ ලෙස කොට, පාස්කුව පිළියෙළකළෝය. සවස්වූ කල්හි උන්වහන්සේ ගෝලයන් දොළොස්දෙනා සමඟ කෑමට වාඩිවහුන්සේක; ඔවුන් කමින් සිටියදී උන්වහන්සේ කථාකොට: සැබවක් නුඹලාට කියමි–නුඹලාගෙන් එක්කෙනෙක් මා පාවාදෙන්නේයයි කීසේක. ඔව්හු අතිශයෙන් ශෝකව එකිනෙකා: ස්වාමිනි, මමද මමදැයි අසන්ට පටන්ගත්තෝය. උන්වහන්සේ උත්තරදෙමින්: මා සමඟ තලියේ අත ලෑ තැනැත්තේම මා පාවා දෙන්නේය. මනුෂ්‍ය පුත්‍රයා ගැන ලියා තිබෙන හැටියට ඔහු යන්නේය. නුමුත් මනුෂ්‍ය පුත්‍රයා පාවාදෙන ඒ මනුෂ්‍යයාට දුක්වේ! ඒ මනුෂ්‍යයා නූපන්නා නම් ඔහුට යහපතැයි කීසේක. උන්වහන්සේ පාවාදුන් යූදස්ද උත්තර දෙමින්: රබ්බී, ඒ මමදැයි ඇසුවේය. නුඹ කීවෙහියයි උන්වහන්සේ ඔහුට කීසේක. ඔවුන් කමින් සිටියදී යේසුස්වහන්සේ රොටි ගෙන ආශීර්වාදකොට කඩා ගෝලයන්ට දී: රැගෙන කන්න; මේක මාගේ ශරීරයයයි කීසේක. උන්වහන්සේ කුසලානක් ගෙන ස්තුතිකොට ඔවුන්ට දී: නුඹලා සියල්ලෝම මෙයින් බොන්න; මේක පව් කමාව පිණිස බොහෝදෙනා උදෙසා වගුරුවන අලුත් ගිවිසුමේ මාගේ ලේය. එහෙත් මාගේ පියාණන්ගේ රාජ්‍යයෙහිදී මා නුඹලා සමඟ අලුත් මුද්‍රිකපානය බොන දවස දක්වා මෙතැන් පටන් මේ මිදිඵල යුස නොබොන්නෙමියි නුඹලාට කියමියි කීසේක. ඔව්හු ගීතිකාවක් කළායින් පසු ඔලීව කන්දට පිටත්ව ගියෝය. එවිට යේසුස්වහන්සේ ඔවුන්ට කියනසේක්: නුඹලා සියල්ලෝම අද රාත්‍රියේ මා ගැන බාධාවන්නහුය. මක්නිසාද මම එඬේරාට පහරදෙන්නෙමි, එකල රැළේ බැටළුවෝ විසිරවනු ලබන්නෝයයි ලියා තිබේ. නුමුත් මා නැගුටුවනු ලැබූ පසු නුඹලාට පළමුවෙන් ගලීලයට යන්නෙමියි කීසේක. පේතෘස් උන්වහන්සේට උත්තරදෙමින්: සියල්ලන්ම ඔබ ගැන බාධාවෙතත් මම නම් කවදාවත් බාධා නොවන්නෙමියි කීවේය. යේසුස් වහන්සේද: සැබවක් නුඹට කියමි–අද රාත්‍රියේ කුකුළා හඬලන්ට පළමුවෙන් නුඹ මා අඳුනන්නේ නැත කියා තුන් වරක් කියන්නෙහියි ඔහුට කීසේක. පේතෘස්ද: ඔබ සමඟ නසින්ට පවා මට සිද්ධවුණත්-ඔබ නාඳුනමියි කියන්නේ නැතැයි උන්වහන්සේට කීවේය. ගෝලයන් සියල්ලෝද එලෙසම කීවෝය. එකල යේසුස්වහන්සේ ඔවුන් සමඟ ගෙත්සෙමනය කියන ස්ථානයට පැමිණ: මා අතනට ගොස් යාච්ඤාකරන අතර නුඹලා මෙහි ඉඳින්නැයි තමන් ගෝලයන්ට කීසේක. උන්වහන්සේ පේතෘස්ද සෙබදීගේ පුත්‍රයන් දෙදෙනාද කැඳවාගෙන ගොස්, ශෝකවෙන්ටත් අතිශයින් කැලඹෙන්ටත් පටන්ගත්සේක. එකල උන්වහන්සේ ඔවුන්ට කථාකොට: මැරෙන තරම් මාගේ ආත්මය ඉතා ශෝක සහිතය. නුඹලා මෙහි නැවතී මා සමඟ අවදිව සිටින්නැයි කීසේක. උන්වහන්සේ මඳක් ඉස්සරහට ගොස් මුහුණින් වැටී: අහෝ මාගේ පියාණෙනි, මේ කුසලාන මා කෙරෙන් පහවෙන්ට පුළුවන් නම් එසේ වේවා. එසේවී නුමුත් මා කැමතිලෙස නොව ඔබ කැමති ලෙස වේවයි කියා යාච්ඤාකළසේක. උන්වහන්සේ ගෝලයන් ළඟට ඇවිත් ඔවුන් නිදාඉන්නවා දැක, පේතෘස්ට කථාකොට: කිමෙක්ද? මා සමඟ එක පැයක්වත් අවදිව ඉන්ට නුඹලාට බැරි වුණාද? නුඹලා පරීක්ෂාවට නොපැමිණෙන පිණිස අවදිව ඉඳ යාච්ඤාකරන්න. ආත්මය නම් කැමතිය, නුමුත් මාංසය බෙලහීනයයි කීසේක. උන්වහන්සේ නැවත දෙවෙනි වරත් අහක්ව ගොස්: අහෝ මාගේ පියාණෙනි, මේක මා විසින් නොබී පහවෙන්ට බැරි නම්, ඔබගේ කැමැත්තවේවයි කියා යාච්ඤාකළසේක. උන්වහන්සේ නැවත ඇවිත් ඔවුන් නිදා ඉන්නවා දුටුසේක, මක්නිසාද ඔවුන්ගේ ඇස් නිදිබරව තිබුණේය. නැවතත් උන්වහන්සේ ඔවුන් අත්හැර ගොස්, තුන්වෙනි වරත් ආයෙත් එම වචන කියා යාච්ඤාකළසේක. එකල උන්වහන්සේ ගෝලයන් ළඟට ඇවිත්: ඉතින් නිදාගෙන නිවාඩු ගන්න. මෙන්න, පැය ළඟය, මනුෂ්‍ය පුත්‍රයා පව්කාරයන්ගේ අත්වලට පාවාදෙනු ලබයි. නැගිටින්න, අපි යමු. අන්න, මා පාවාදෙන්නා ළඟ යයි කීසේක. උන්වහන්සේ කථාකරද්දීම, බලව, දොළොස්දෙනාගෙන් එක්කෙනෙක්වූ යූදස්ද ඔහු සමඟ නායක පූජකයන් හා සෙනඟගේ වැඩිමහල්ලන් කෙරෙන් කඩු මුගුරු ගත් මහත්වූ සමූහයක්ද ආවෝය. උන්වහන්සේ පාවාදෙන්නා: මම යමෙකු සිඹගනිම්ද ඒ උන්වහන්සේය. උන්වහන්සේ අල්ලාගන්නය කියා ඔවුන්ට ලකුණක් දී තිබුණේය. එකෙණෙහිම ඔහු යේසුස්වහන්සේ ළඟට ඇවිත්: රබ්බි, ශුභසිද්ධවේවා කියා උන්වහන්සේ සිඹගත්තේය. යේසුස්වහන්සේද: මිත්‍රය, නුඹ කරන්ට ආ දෙය කරන්නැයි ඔහුට කීසේක. එවිට ඔව්හු ඇවිත් යේසුස්වහන්සේ පිට අත් තබා උන්වහන්සේ අල්ලාගත්තෝය. යේසුස්වහන්සේ සමඟ සිටියවුන්ගෙන් එක්කෙනෙක් තමාගේ අත දිගුකොට කඩුව ඇද, උත්තම පූජකයාගේ දාසයාට ගසා ඔහුගේ කන කපාදැමීය. එවිට යේසුස්වහන්සේ: නුඹේ කඩුව කොපුවේ දමන්න. මක්නිසාද කඩු ගන්න සියල්ලෝ කඩුවෙන්ම විනාශවන්නෝය. දේවදූතයන් ලෙගියොන් දොළොසකට වඩා මා ළඟට මේ දැන් එවන ලෙස මාගේ පියාණන්ගෙන් ඉල්ලන්ට මට බැරියයි නුඹ සිතනවාද? එසේ ඉල්ලුවොත්, මේ ආකාර වෙන්ට ඕනෑයයි කියන ලියවිලි සම්පූර්ණවෙන්නේ කොහොමදැයි ඔහුට කීසේක. ඒ පැයේදී යේසුස්වහන්සේ සමූහයන්ට කථාකොට: නුඹලා සොරෙකුට විරුද්ධව මෙන් කඩු මුගුරු රැගෙන මා අල්ලන්ට ආවහුද? මා දේවමාළිගාවේ උගන්වමින් දවස්පතා හිඳිද්දී නුඹලා මා ඇල්ලුවේ නැත. නුමුත් මේ සියල්ල සිද්ධවූයේ අනාගතවක්තෘවරුන්ගේ ලියවිලි සම්පූර්ණවන පිණිසයයි කීසේක. එවිට ගෝලයන් සියල්ලෝම උන්වහන්සේ අත්හැර පලාගියෝය.

ශු. මතෙව් 26:14-56 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය