ශු. මතෙව් 25:3-13

ශු. මතෙව් 25:3-13 SROV

මක්නිසාද නුවණ නැත්තියෝ තමුන්ගේ පහන් ගෙනයද්දී තමුන් සමඟ තෙල් නොගෙනගියෝය. නුමුත් නුවණ ඇත්තියෝ තමුන්ගේ පහන් සමඟ තමුන්ගේ භාජනවල තෙල් ගෙනගියෝය. මනමාලයාගේ ඊම ප්‍රමාදවූ කල ඒ සියල්ලෝම නිදිබරව නිදාගත්තෝය. මධ්‍යම රාත්‍රියේ: අන්න, මනමාලයා එනවා! ඔහුගේ පෙරමගට එන්නැයි හඬක් වූයේය. එවිට ඒ සියලු කන්‍යාවෝ නැගිට තමුන්ගේ පහන් හරිගැස්සුවෝය. එකල නුවණ නැත්තියෝ: අපේ පහන් නිවීගන යන නිසා නුඹලාගේ තෙලින් අපටත් දෙන්නැයි නුවණ ඇත්තියන්ට කීවෝය. නුමුත් නුවණ ඇත්තියෝ උත්තරදෙමින්: සමහරවිට අපටත් නුඹලාටත් මදිවෙයි. එසේ නොව විකුණන්නන් ළඟට ගොස්, නුඹලාටම මිලේට ගන්නැයි කීවෝය. මිලේට ගන්ට ඔවුන් ගිය අතර මනමාලයා ආවේය; සෑදී සිටියෝ ඔහු සමඟ සරණ මංගල්‍යයට ඇතුල්වූවෝය. දොරද වසනලද්දේය. පසුව අනික් කන්‍යාවොත් ඇවිත්: ස්වාමිනි, ස්වාමිනි, අපට දොර හැරිය මැනවයි කීවෝය. නුමුත් ඔහු උත්තරදෙමින්: සැබවක් නුඹලාට කියමි, මම නුඹලා නාඳුනමියි කීවේය. එබැවින් දවසවත් පැයවත් නුඹලා නොදන්න නිසා අවදිව සිටින්න.