ශු. මතෙව් 25:21-30

ශු. මතෙව් 25:21-30 SROV

ඔහුගේ ස්වාමියා ඔහුට කථාකොට: යහපත්වූ විශ්වාසවූ දාසය,ඒ යහපත ස්වල්ප දේ ගැන නුඹ විශ්වාසවූවෙහිය, බොහෝ දේ කෙරෙහි නුඹ අධිපති කරමි. නුඹේ ස්වාමියාගේ ප්‍රීතියට ඇතුල්වෙන්නැයි ඔහුට කීවේය. තලෙන්ත දෙක ලැබූ තැනැත්තේද ඇවිත්: ස්වාමිනි, ඔබ මට තලෙන්ත දෙකක් භාරදුන්නෙහිය. මෙන්න, තවත් තලෙන්ත දෙකක් උපදවාගතිමියි කීවේය. ඔහුගේ ස්වාමියා ඔහුට කථාකොට: යහපත්වු විශ්වාසවූ දාසය, ඒ යහපත; ස්වල්ප දේ ගැන නුඹ විශ්වාසවූවෙහිය, බොහෝ දේ කෙරෙහි නුඹ අධිපති කරමි. නුඹේ ස්වාමියාගේ ප්‍රීතියට ඇතුල්වෙන්නැයි ඔහුට කීවේය. එක තලෙන්තය ලැබු තැනැත්තේද ඇවිත්: ස්වාමිනි, ඔබ නොවපුළ තැනින් කපාගන්නාවූ, නොඉස්ස තැනින් රැස්කරන්නාවූ, කර්කස මනුෂ්‍යයෙකු බව දැනගතිමි. එබැවින් මම භයව ගොස්, ඔබගේ තලෙන්තය පොළොවේ සඟවා තැබීමි, මෙන්න, ඔබ සන්තක දේයයි කීවේය. ඔහුගේ ස්වාමියා ඔහුට උත්තරදෙමින්: දුෂ්ටවූ අලසවූ දාසය, මා නොවපුළ තැනින් කපාගන්න බවත් නොඉස්ස තැනින් රැස්කරගන්න බවත් නුඹ දැනගෙන සිටියෙහිද! එසේ නම් මාගේ මුදල මිල ගනුදෙනුකරන්නන්ට නුඹ විසින් දිය යුතුව තිබුණේය, එවිට මා ආ කල මට අයිති දේ පොළියත් සමඟ ලබන්ට තිබුණේය. එබැවින් ඔහුගෙන් තලෙන්තය හැරගෙන තලෙන්ත දසය ඇත්තාට දෙන්න. මක්නිසාද ඇති තැනැත්තාට දෙනු ලබන්නේය, ඔහුට බොහෝ වන්නේය. නුමුත් නැති තැනැත්තාගෙන් ඔහුට ඇති දේත් පහකරනු ලබන්නේය. ඒ නිෂ්ප්‍රයෝජන දාසයා පිටත අන්ධකාරයෙහි දමන්න. එහිදී හැඬීමත් දත්මිටිකෑමත් වන්නේයයි කීවේය.