ශු. මතෙව් 24:29-44

ශු. මතෙව් 24:29-44 SROV

තවද ඒ දවස්වල පීඩා පසුවූ කෙනෙහිම, ඉර අඳුරුවන්නේය, සඳ එහි එළිය නොදෙන්නේය, තාරකාවෝ අහසෙන් වැටෙන්නෝය, අහසේ බලපරාක්‍රමද සෙලවෙන්නෝය. එකල මනුෂ්‍ය පුත්‍රයාගේ ලකුණ අහසේ පෙනෙන්නේය. එවිට පොළොවේ සියලු ගෝත්‍රයෝ වැලපෙන්නෝය, ඔව්හු මනුෂ්‍ය පුත්‍රයා බලයෙන්ද මහත් තේජසින්ද අහසේ වලාකුල් පිට එනවා දකින්නෝය. උන්වහන්සේ මහත් හොරණෑ ශබ්දයක් ඇතුව තමන් දූතයන් එවනසේක, ඔව්හු අහසේ එක් කෙළවරක සිට අනික් කෙළවර දක්වා සතර දිගින්ම උන්වහන්සේගේ තෝරාගත්තවුන් රැස්කරන්නෝය. අත්තික්කා ගහේ උපමාව ඉගෙනගන්න. එහි අතු මෘදුව කොළ හටගන්න කල ග්‍රීෂ්ම කාලය ළඟ බව නුඹලා දන්නහුය. එසේම නුඹලා මේ සියල්ල දකින කල, උන්වහන්සේ දොරටු සමීපයෙහිම බවත් දැනගන්න. සැබවක් නුඹලාට කියමි–මේ සියල්ල සිදුවන තුරු මේ පරම්පරාව පහව නොයන්නේය. අහසත් පොළොවත් පහවන්නේය, නුමුත් මාගේ වචන පහ නොවන්නේය. නුමුත් ඒ දවස හා පැය මාගේ පියාණන්වහන්සේ මිස දන්නා කෙනෙක් නැත; ස්වර්ගයෙහි දේවදූතයන්වත් පුත්‍රයාවත් දන්නේ නැත. නෝවාගේ දවස් මෙන් මනුෂ්‍ය පුත්‍රයාගේ ඊමත් වන්නේය. මක්නිසාද ජලගැලීමට පළමු දවස්වලදී, නෝවා නැවට ඇතුල්වු දවස දක්වා, ඔව්හු කමින් බොමින්, සරණපාවාගනිමින්, සරණපාවාදෙමින් සිටියෝය. ජලගැල්ම පැමිණ සියල්ලන්ම ගසාගෙන යනතුරු ඔව්හු නොදැන සිටියෝය; මනුෂ්‍ය පුත්‍රයාගේ ඊමත් එලෙසම වන්නේය. එකල මනුෂ්‍යයන් දෙදෙනෙක් කෙතෙහි සිටිනවා ඇත; එක්කෙනෙක් ගනු ලබන්නේය, එක්කෙනෙක් අත්හරිනු ලබන්නේය. ස්ත්‍රියන් දෙදෙනෙක් ඇඹරුම්ගලේ අඹරමින් සිටිනවා ඇත; එක් තැනැත්තියක් ගනු ලබන්නීය, එක් තැනැත්තියක් අත්හරිනු ලබන්නීය. එබැවින් අවදිව සිටින්න. මක්නිසාද නුඹලාගේ ස්වාමියා කොයි දවසේ එනසේක්දැයි නුඹලා දන්නේ නැත. නුමුත් සොරා කොයි යාමයේ එන්නේදැයි ගෙයි ස්වාමියා දැනගන සිටියේ නම්, ඔහු අවදිව සිටිමින් තමාගේ ගෙය උමංකණින්ට නොදෙන බව දැනගන්න. එබැවින් නුඹලාත් සෑදී සිටින්න. මක්නිසාද නුඹලා නොසිතන පැයකදී මනුෂ්‍ය පුත්‍රයා එනසේක.

ශු. මතෙව් 24:29-44 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය