ශු. මතෙව් 21:8-22

ශු. මතෙව් 21:8-22 SROV

සමූහයාගෙන් වැඩිදෙනා තමුන්ගේ වස්ත්‍ර මග අතුළෝය; තවත් සමහරු ගස්වලින් අතු කපා මග අතුළෝය. පෙර පසුව ගිය සමූහයෝ: දාවිත්ගේ පුත්‍රයාට හෝසන්නාය කියාත්, ස්වාමීන්වහන්සේගේ නාමයෙන් එන තැනැත්තේ ආශීර්වාදලද්දේය කියාත්, ඉතා උස්තැන්හි හෝසන්නාය කියාත් මොරගැසුවෝය. උන්වහන්සේ යෙරුසලමට ඇතුල්වූ කල මුළු නුවර කැලඹී: මේ කවුදැයි කීවෝය. සමූහයෝද: මුන්වහන්සේ ගලීලයේ නාසරෙත් නුවර අනාගතවක්තෘවූ යේසුස්වහන්සේයයි කීවෝය. යේසුස්වහන්සේ දේව මාළිගාවට ඇතුල්ව, මාළිගාවෙහි විකුණමින්ද මිලේට ගනිමින්ද සිටි සියලු දෙන පිටතට එළවා, මිල මාරුකරන්නන්ගේ මේසද පරෙවියන් විකුණන්නන්ගේ ආසනද පෙරළාදමා: මාගේ ගෘහය යාච්ඤා ගෘහයක්ය කියනු ලබන්නේයයි ලියා තිබේ. නුමුත් නුඹලා ඒක සොරුන්ගේ ගුහාවක් කරතියි ඔවුන්ට කීසේක. අන්ධයෝද කොරුද දේවමාළිගාවෙහි උන්වහන්සේ වෙතට ආවෝය. උන්වහන්සේ ඔවුන්ට සුවකළසේක. එහෙත් නායක පූජකයොත් ලියන්නොත් උන්වහන්සේ කළ පුදුම දේවල්ද දාවිත්ගේ පුත්‍රයාට හෝසන්නාය කිය කියා දේවමාළිගාවේ මොරගසන දරුවන්ද දැක, කිපී: මොවුන් කියන දේ ඔබට ඇසෙනවාදැයි උන්වහන්සේට කීවෝය. යේසුස්වහන්සේද: එසේය, බාලයන්ගේද කිරි බොන දරුවන්ගේද මුඛයෙන් ඔබ ප්‍රශංසාව සම්පූර්ණකර තිබේය යන්න නුඹලා කිසිකලක කියෙවුවේ නැද්දැයි ඔවුන්ට කීසේක. උන්වහන්සේ ඔවුන් අත්හැර නුවරින් පිටත්ව බෙතානියට ගොස්, එහි සිටිසේක. අලුයම නුවරට නැවත යන අතර උන්වහන්සේට බඩගිනිවිය. උන්වහන්සේ පාර අද්දර තිබෙන අත්තික්කා ගහක් දැක ළඟට ගොස්, එහි කොළ මිස වෙන කිසිවක් නොදැක: මෙතැන් පටන් කිසිකලක නුඹෙන් ඵල හට නොගනීවයි ඒ ගහට කීසේක. අත්තික්කා ගහ වහාම වියළුණේය. ගෝලයෝ ඒ දැක: අත්තික්කා ගහ වහාම වියළුණේ කෙසේද කියා මවිතවූවෝය. යේසුස්වහන්සේ උත්තරදෙමින්: සැබවක් නුඹලාට කියමි–නුඹලා සැක නොකොට, ඇදහිල්ල ඇතුව සිටිනවානම්, අත්තික්කා ගහට කළ දේ නුඹලා කරනවා පමණක් නොව: ඉදිරි මුහුදේ වැටෙවයි මේ කන්දට කීවත් එය සිද්ධ වන්නේය. තවද නුඹලා ඇදහිල්ල ඇතුව යාච්ඤාවෙන් ඉල්ලන කොයි දෙයක් නුමුත්, ඒ සියල්ල නුඹලාට ලැබේයයි ඔවුන්ට කීසේක.

ශු. මතෙව් 21:8-22 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය