ශු. මතෙව් 20:20-34

ශු. මතෙව් 20:20-34 SROV

එකල සෙබදීගේ පුත්‍රයන්ගේ මවු ඇගේ පුත්‍රයන් සමඟ උන්වහන්සේ ළඟට ඇවිත්, නමස්කාරකොට, වරයක් ඉල්ලුවාය. උන්වහන්සේ: නුඹට ඕනෑ කුමක්දැයි ඇගෙන් ඇසූසේක. ඈද: ඔබගේ රාජ්‍යයෙහිදී මේ මාගේ පුත්‍රයන් දෙදෙනාගෙන් එක්කෙනෙක් ඔබගේ දකුණු පැත්තේද එක්කෙනෙක් වම් පැත්තේද හිඳින්ට නියමකළ මැනවයි කීවාය. නුමුත් යේසුස්වහන්සේ උත්තර දෙමින්: නුඹලා ඉල්ලන්නේ කුමක්දැයි නුඹලා දන්නේ නැත. මා බොන්ට යන කුසලානෙන් බොන්ට නුඹලාට පුළුවන්දැයි ඇසූසේක. අපට පුළුවනැයි ඔව්හු උන්වහන්සේට කීවෝය. උන්වහන්සේ ඔවුන්ට කථාකොට: ඒකාන්තයෙන් නුඹලා මාගේ කුසලානෙන් බොන්නහුය. නුමුත් මාගේ දකුණු පැත්තේද වම් පැත්තේද ඉන්ට දීම මට අයිති නැත, එහෙත් මාගේ පියාණන් විසින් ඒවා යමෙකුට නියමකරනලද්දේද ඔවුන්ටයයි කීසේක. එවිට දසදෙන ඒ අසා ඒ සහෝදරයන් දෙදෙනා ගැන කිපුණෝය. නුමුත් යේසුස්වහන්සේ ඔවුන් තමන් ළඟට කැඳවා: අන්‍යජාතීන්ගේ ආණ්ඩුකාරයින් ඔවුන් කෙරේ අධිපතිකම් කරන බවත් ඔවුන්ගේ උත්තමයන් ඔවුන් කෙරේ බලය පවත්වන බවත් නුඹලා දනිහුය. නුඹලා අතරේ එසේ නොවන්නේය. නුඹලා අතරේ යමෙක් උතුම්වෙන්ට කැමති නම් ඔහු නුඹලාගේ සේවකයා වන්නේය. නුඹලා අතරේ යමෙක් ප්‍රධානියා වෙන්ට කැමති නම් ඔහු නුඹලාගේ දාසයා වන්නේය. එසේම මනුෂ්‍ය පුත්‍රයා සේවය ලබන්ට නොව සේවයකරන්ටද බොහෝ දෙනෙක් උදෙසා මිදීමේ මිලයක් කොට තමන්ගේ ජීවිතය දෙන්ටද ආවේයයි කීසේක. ඔවුන් යෙරිකෝවෙන් පිටත්ව යන අතර මහත් සමූහයක් උන්වහන්සේ අනුව ගියෝය. පාර අද්දර ඉඳගනහුන් අන්ධයන් දෙදෙනෙක් යේසුස්වහන්සේ ඒ ළඟින් යන බව අසා: ස්වාමිනි, දාවිත්ගේ පුත්‍රය, අපට කරුණාකළ මැනවයි මොරගැසුවෝය. ඔවුන් නිශ්ශබ්දවන පිණිස සමූහයා ඔවුන්ට සැරකළෝය. නුමුත් ඔව්හු: ස්වාමිනි, දාවිත්ගේ පුත්‍රය, අපට කරුණාකළ මැනවයි වඩ වඩා මොරගැසුවෝය. යේසුස්වහන්සේ නැවතී ඔවුන් කැඳවා: මා විසින් නුඹලාට කුමක් කරනවාට කැමතිදැයි ඇසූසේක. ස්වාමිනි, අපේ ඇස් පහදනු ලැබීමටයයි ඔව්හු උන්වහන්සේට කීවෝය. යේසුස්වහන්සේ ඔවුන්ට අනුකම්පාකරමින්, ඔවුන්ගේ ඇස් අතගෑසේක. එවලේම ඔව්හු පෙනීම ලැබ උන්වහන්සේ අනුව ගියෝය.

මෙයට අදාළ වීඩියෝ

ශු. මතෙව් 20:20-34 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය