ශු. මතෙව් 19:22-30

ශු. මතෙව් 19:22-30 SROV

නුමුත් යෞවනයා ඒ කීම අසා, තමා බොහෝ සම්පත් ඇති කෙනෙක්ව සිටි බැවින්, ශෝකයෙන් යන්ට ගියේය. එවිට යේසුස්වහන්සේ ගෝලයන්ට කථාකොට: සැබවක් නුඹලාට කියමි-ධනවන්තයෙකුට ස්වර්ගරාජ්‍යයට ඇතුල්වීම අමාරුය. නැවතත් නුඹලාට කියමි-ධනවන්තයෙක් දෙවියන්වහන්සේගේ රාජ්‍යයට ඇතුල්වෙනාවට වඩා ඔටුවෙකුට ඉදිකටුවක සිදුරෙන් යන්ට පහසුයයි කීසේක. ගෝලයෝ ඒ අසා ඉතා විස්මපත්ව: එසේවී නම් ගැළවෙන්ට පුළුවන් කාටදැයි කීවෝය. යේසුස්වහන්සේ ඔවුන් දෙස බලමින්: ඒක මනුෂ්‍යයන්ට නම් නුපුළුවන; නුමුත් දෙවියන්වහන්සේට සියල්ලම පුළුවනැයි කීසේක. එවිට පේතෘස් උන්වහන්සේට උත්තරදෙමින්: අපි සියල්ල අත්හැර ඔබවහන්සේ අනුව ආවෙමුව; එබැවින් අපට ලැබෙන්නේ කුමක්දැයි උන්වහන්සේට කීවේය. යේසුස්වහන්සේ ඔවුන්ට කථාකොට: සැබවක් නුඹලාට කියමි–අලුත් උත්පාදයේදී මනුෂ්‍ය පුත්‍රයා තමන්ගේ තේජසේ සිංහාසනය පිට වැඩහිඳින කල, මා අනුව ආවාවූ නුඹලාත් ඉශ්‍රායෙල්ගේ ගෝත්‍රයන් දොළොස විනිශ්චයකරමින් සිංහාසන දොළොසක් පිට හිඳින්නහුය. ඇරත් මාගේ නාමය නිසා ගෙවල් හෝ සහෝදරයන් හෝ සහෝදරියන් හෝ පියා හෝ මවු හෝ දරුවන් හෝ ගම්බිම් හෝ අත්හැරියාවූ යමෙක් ඇද්ද, ඔහු සියක් ගුණයක් ලබන්නේය, සදාකාල ජීවනයටත් උරුමක්කාරයා වන්නේය. නුමුත් ප්‍රථමයෝ බොහෝ දෙනෙක් අන්තිමයෝද අන්තිමයෝ ප්‍රථමයෝද වන්නෝයයි කීසේක.

ශු. මතෙව් 19:22-30 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය