ශු. මතෙව් 19:13-30

ශු. මතෙව් 19:13-30 SROV

එකල උන්වහන්සේ විසින් දරුවන් පිට අත් තබා යාච්ඤාකරන පිණිස ඔව්හු උන්වහන්සේ වෙතට ගෙනෙනලද්දෝය. ගෝලයෝ ඔවුන්ට සැරකළෝය. එහෙත් යේසුස්වහන්සේ කථාකොට: දරුවන් නොවලක්වා මා ළඟට එන්ට ඉඩහරින්න. මක්නිසාද ස්වර්ගරාජ්‍යය මෙබඳුවන්ගේයයි කීසේක. උන්වහන්සේ ඔවුන් පිට අත් තබා එතැනින් පිටත්ව ගියසේක. බලව, එක්තරා කෙනෙක් උන්වහන්සේ ළඟට ඇවිත්: ආචාරීන්වහන්ස, සදාකාල ජීවනය ලබාගන්න පිණිස මොන යහපත් දෙයක් කරම්දැයි උන්වහන්සේගෙන් ඇසුවේය. උන්වහන්සේද: නුඹ යහපත ගැන මාගෙන් විචාරන්නේ මක්නිසාද? යහපත්ව සිටින්නේ එක්කෙනෙක්මය. නුමුත් නුඹ ජීවනයට ඇතුල්වෙන්ට කැමැත්තෙහි නම් ආඥාවන් පවත්වන්නැයි ඔහුට කීසේක. ඒ කොයි ඒවාදැයි ඔහු උන්වහන්සේගෙන් ඇසුවේය. යේසුස්වහන්සේ කියනසේක්: මිනී නොමරව, කාමමිථ්‍යාචාරය නොකරව, සොරකම් නොකරව, බොරු සාක්ෂි නොකියව, නුඹේ පියාටත් මවුටත් ගෞරවකරව; තමාට මෙන් තමාගේ අසල්වාසියාට ප්‍රේමකරව යන මේවායයි කීසේක. යෞවනයාද: මේ සියල්ල රක්ෂාකෙළෙමි. තව මට අඩු කිමෙක්දැයි උන්වහන්සේගෙන් ඇසුවේය. යේසුස්වහන්සේද: නුඹ සම්පූර්ණවෙන්ට කැමති නම් ගොස් නුඹ සන්තකදේ විකුණා දිළිඳුන්ට දෙන්න, එවිට ස්වර්ගයෙහිදී නුඹට වස්තු ලැබෙන්නේය. නුඹ මා අනුව යන්ට එන්නැයි ඔහුට කීසේක. නුමුත් යෞවනයා ඒ කීම අසා, තමා බොහෝ සම්පත් ඇති කෙනෙක්ව සිටි බැවින්, ශෝකයෙන් යන්ට ගියේය. එවිට යේසුස්වහන්සේ ගෝලයන්ට කථාකොට: සැබවක් නුඹලාට කියමි-ධනවන්තයෙකුට ස්වර්ගරාජ්‍යයට ඇතුල්වීම අමාරුය. නැවතත් නුඹලාට කියමි-ධනවන්තයෙක් දෙවියන්වහන්සේගේ රාජ්‍යයට ඇතුල්වෙනාවට වඩා ඔටුවෙකුට ඉදිකටුවක සිදුරෙන් යන්ට පහසුයයි කීසේක. ගෝලයෝ ඒ අසා ඉතා විස්මපත්ව: එසේවී නම් ගැළවෙන්ට පුළුවන් කාටදැයි කීවෝය. යේසුස්වහන්සේ ඔවුන් දෙස බලමින්: ඒක මනුෂ්‍යයන්ට නම් නුපුළුවන; නුමුත් දෙවියන්වහන්සේට සියල්ලම පුළුවනැයි කීසේක. එවිට පේතෘස් උන්වහන්සේට උත්තරදෙමින්: අපි සියල්ල අත්හැර ඔබවහන්සේ අනුව ආවෙමුව; එබැවින් අපට ලැබෙන්නේ කුමක්දැයි උන්වහන්සේට කීවේය. යේසුස්වහන්සේ ඔවුන්ට කථාකොට: සැබවක් නුඹලාට කියමි–අලුත් උත්පාදයේදී මනුෂ්‍ය පුත්‍රයා තමන්ගේ තේජසේ සිංහාසනය පිට වැඩහිඳින කල, මා අනුව ආවාවූ නුඹලාත් ඉශ්‍රායෙල්ගේ ගෝත්‍රයන් දොළොස විනිශ්චයකරමින් සිංහාසන දොළොසක් පිට හිඳින්නහුය. ඇරත් මාගේ නාමය නිසා ගෙවල් හෝ සහෝදරයන් හෝ සහෝදරියන් හෝ පියා හෝ මවු හෝ දරුවන් හෝ ගම්බිම් හෝ අත්හැරියාවූ යමෙක් ඇද්ද, ඔහු සියක් ගුණයක් ලබන්නේය, සදාකාල ජීවනයටත් උරුමක්කාරයා වන්නේය. නුමුත් ප්‍රථමයෝ බොහෝ දෙනෙක් අන්තිමයෝද අන්තිමයෝ ප්‍රථමයෝද වන්නෝයයි කීසේක.

ශු. මතෙව් 19:13-30 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය