ශු. මතෙව් 18:1-22

ශු. මතෙව් 18:1-22 SROV

ඒ පැයේදී ගෝලයෝ යේසුස්වහන්සේ ළඟට ඇවිත්: ඉඳින් ස්වර්ගරාජ්‍යයෙහි ඉතා උතුම් වන්නේ කවුදැයි ඇසුවෝය. උන්වහන්සේ කුඩා දරුවෙකු තමන් ළඟට කැඳවා ඔවුන් මැද සිටුවා: සැබවක් නුඹලාට කියමි–නුඹලා හැරී කුඩා දරුවන් මෙන් නූණොත්, කිසිසේත් ස්වර්ගරාජ්‍යයට ඇතුල් නොවන්නහුය. එබැවින් මේ කුඩා දරුවා මෙන් යටත්වන කවුරු නුමුත් ස්වර්ගරාජ්‍යයෙහි ඉතා උතුම් තැනැත්තාය. තවද යමෙක් මාගේ නමින් මෙබඳු කුඩා දරුවෙකු පිළිගන්නේද ඔහු මා පිළිගන්නේය. නුමුත් මා කෙරෙහි අදහන මේ බාලයන්ගෙන් එක්කෙනෙකුටවත් බාධා කරන යමෙක් ඇද්ද ඔහුගේ බෙල්ලේ මහත් ඇඹරුම් ගලක් එල්ලා මුහුදේ ගැඹුරෙහි ගිල්වීම ඔහුට යහපත. බාධා නිසා ලොවට දුක්වේ! මක්නිසාද බාධා පැමිණෙන්ට ඕනෑය; නුමුත් යමෙකු කරණකොටගෙන බාධාව පැමිණේද ඒ තැනැත්තාට දුක්වේ! නුඹේ අත හෝ පය හෝ ඔබට බාධාකෙරේ නම් ඒක කපා අහක දමන්න. දෑත හෝ දෙපය හෝ ඇතුව සදාකාල ගින්නට හෙළනු ලැබීමට වඩා අබ්බාගාතව නොහොත් කොරව ජීවනයට පැමිණීම ඔබට යහපත. නුඹේ ඇස ඔබට බාධා කෙරේ නම් ඒක උගුළා අහක දමන්න. ඇස් දෙකක් ඇතුව නිරාගින්නට හෙළනු ලැබීමට වඩා එක ඇසක් ඇතුව ජීවනයට පැමිණීම නුඹට යහපත. මේ බාලයන්ගෙන් එකෙකුටවත් හෙළා නොදක්නා ලෙස බලාගන්න. මක්නිසාද ස්වර්ගයේදී ඔවුන්ගේ දූතයෝ ස්වර්ගයෙහි සිටින මාගේ පියාණන්වහන්සේගේ මුහුණ නිතරම දකිතියි නුඹලාට කියමි. නුඹලා සිතන්නේ මොකද? යම් මනුෂ්‍යයෙකුට බැටළුවන් සියයක් ඇත්නම්, උන්ගෙන් එකෙක් මුළාව ගියොත්, ඔහු ඉතිරි අනූනවදෙනා අත්හැර, කඳුවලට ගොස්, මුළාව ගිය එකා සොයන්නේ නැද්ද? ඌ සම්බවුණොත් මුළාව නොගිය අනූනවදෙනා ගැන සන්තෝෂවෙනවාට වඩා ඌ ගැන සන්තෝෂවන්නේයයි ඒකාන්තයෙන් නුඹලාට කියමි. එසේම මේ බාලයන්ගෙන් එක්කෙනෙක්වත් විනාශවෙනවාට ස්වර්ගයෙහි සිටින නුඹලාගේ පියාණන්වහන්සේ කැමති නොවනසේක. තවද නුඹේ සහෝදරයා ඔබට විරුද්ධව වරදකළොත්, ගොස්, ඔහු සමඟ තනිව සිට ඔහුගේ වරද පෙන්වා දෙන්න. නුඹ කී දේ ඔහු ඇසුවොත් නුඹ නුඹේ සහෝදරයා දිනාගත්තෙහිය. නෑසුවොත් සාක්ෂිකාරයන් දෙදෙනෙකුගේ හෝ තුන්දෙනෙකුගේ හෝ මුඛයෙන් සියලු වචන ස්ථිරවන පිණිස නුඹ සමඟ තවත් එක්කෙනෙකු නොහොත් දෙදෙනෙකු කැඳවාගන යන්න. ඔහු ඔවුන් කී දේත් පිළිනොගත්තොත්, සභාවට කියන්න. සභාව කී දේත් පිළිනොගත්තොත්, ඔහු නුඹට අන්‍යජාතියෙක් මෙන්ද සුංගම් අයකරන්නෙක් මෙන්ද වේවා. සැබවක් නුඹලාට කියමි: නුඹලා පොළොවේදී යමක් යමක් බඳිනවාද, ඒක ස්වර්ගයේදී බඳිනු ලබන්නේය. පොළොවේදී යමක් යමක් මුදනවාද, ඒක ස්වර්ගයේදී මුදනු ලබන්නේය. නැවතත් නුඹලාට කියමි: පොළොවේදී නුඹලාගෙන් දෙදෙනෙක් තමුන් ඉල්ලන යමක් ගැන එක්සිත්වන්නෝ නම්, ස්වර්ගයෙහි සිටින මාගේ පියාණන්වහන්සේගෙන් ඒ දේ ඔවුන්ට ලැබෙන්නේය. මක්නිසාද දෙදෙනෙක් හෝ තුන්දෙනෙක් හෝ මාගේ නාමයෙන් යම් තැනක රැස්ව සිටිත් නම් මම එතැන ඔවුන් මැද සිටිමියි කීසේක. එකල පේතෘස් උන්වහන්සේ ළඟට ඇවිත්: ස්වාමිනි, මට වරදකරන මාගේ සහෝදරයාට කීවරක් කමාවෙන්ටද? සත්වරක් දක්වාදැයි උන්වහන්සේගෙන් ඇසුවේය. යේසුස්වහන්සේ ඔහුට කථාකොට: සත්වරක් නොව සැත්තෑවර සත්වරක්යයි කියමි.

ශු. මතෙව් 18:1-22 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය