ශු. මතෙව් 18:1-11
ශු. මතෙව් 18:1-11 SROV
ඒ පැයේදී ගෝලයෝ යේසුස්වහන්සේ ළඟට ඇවිත්: ඉඳින් ස්වර්ගරාජ්‍යයෙහි ඉතා උතුම් වන්නේ කවුදැයි ඇසුවෝය. උන්වහන්සේ කුඩා දරුවෙකු තමන් ළඟට කැඳවා ඔවුන් මැද සිටුවා: සැබවක් නුඹලාට කියමි–නුඹලා හැරී කුඩා දරුවන් මෙන් නූණොත්, කිසිසේත් ස්වර්ගරාජ්‍යයට ඇතුල් නොවන්නහුය. එබැවින් මේ කුඩා දරුවා මෙන් යටත්වන කවුරු නුමුත් ස්වර්ගරාජ්‍යයෙහි ඉතා උතුම් තැනැත්තාය. තවද යමෙක් මාගේ නමින් මෙබඳු කුඩා දරුවෙකු පිළිගන්නේද ඔහු මා පිළිගන්නේය. නුමුත් මා කෙරෙහි අදහන මේ බාලයන්ගෙන් එක්කෙනෙකුටවත් බාධා කරන යමෙක් ඇද්ද ඔහුගේ බෙල්ලේ මහත් ඇඹරුම් ගලක් එල්ලා මුහුදේ ගැඹුරෙහි ගිල්වීම ඔහුට යහපත. බාධා නිසා ලොවට දුක්වේ! මක්නිසාද බාධා පැමිණෙන්ට ඕනෑය; නුමුත් යමෙකු කරණකොටගෙන බාධාව පැමිණේද ඒ තැනැත්තාට දුක්වේ! නුඹේ අත හෝ පය හෝ ඔබට බාධාකෙරේ නම් ඒක කපා අහක දමන්න. දෑත හෝ දෙපය හෝ ඇතුව සදාකාල ගින්නට හෙළනු ලැබීමට වඩා අබ්බාගාතව නොහොත් කොරව ජීවනයට පැමිණීම ඔබට යහපත. නුඹේ ඇස ඔබට බාධා කෙරේ නම් ඒක උගුළා අහක දමන්න. ඇස් දෙකක් ඇතුව නිරාගින්නට හෙළනු ලැබීමට වඩා එක ඇසක් ඇතුව ජීවනයට පැමිණීම නුඹට යහපත. මේ බාලයන්ගෙන් එකෙකුටවත් හෙළා නොදක්නා ලෙස බලාගන්න. මක්නිසාද ස්වර්ගයේදී ඔවුන්ගේ දූතයෝ ස්වර්ගයෙහි සිටින මාගේ පියාණන්වහන්සේගේ මුහුණ නිතරම දකිතියි නුඹලාට කියමි.

