ශු. මතෙව් 17:1-13

ශු. මතෙව් 17:1-13 SROV

සදවසකට පසු යේසුස්වහන්සේ පේතෘස්ද යාකොබ්ද ඔහුගේ සහෝදරවූ යොහන්ද පමණක් කැඳවාගෙන උස්වූ කන්දකට වෙන්ව ගියසේක. උන්වහන්සේ ඔවුන් ඉදිරියෙහි අන්වෙසක්වූසේක. උන්වහන්සේගේ මුහුණ සූර්යයා මෙන් බැබළුවේය, උන්වහන්සේගේ වස්ත්‍රද ආලෝකය මෙන් සුදුවූයේය. බලව, මෝසෙස්ද එලියාද උන්වහන්සේ සමඟ කථාකරමින් සිටිනවා ඔවුන්ට පෙනුණේය. පේතෘස් උත්තරදෙමින් යේසුස්වහන්සේට කථාකොට: ස්වාමිනි, අපට මෙහි සිටීම යහපත; ඔබ කැමතිසේක්නම්, ඔබට එකක්ද මෝසෙස්ට එකක්ද එලියාට එකක්ද බැගින් මෙහි මණ්ඩප තුනක් සාදන්නෙමියි කීවේය. ඔහු කථාකරද්දීම දීප්තිමත් වලාපටලයක් ඔවුන් මත්තෙහි පැතිර තිබුණේය. බලව, මේ මාගේ ප්‍රේමවන්ත පුත්‍රයාය, මොහු කෙරෙහි ඉතා ප්‍රසන්නව සිටිමි; මොහුට ඇහුම්කන්දෙව්යයි වලාපටලයෙන් හඬක් විය. ගෝලයෝ ඒ අසා, මුහුණින් වැටී, අතිශයින් භය පත්වූවෝය. යේසුස්වහන්සේ ඇවිත් ඔවුන්ට අතගසා: නැගිටින්න, භය නොවෙන්නැයි කීසේක. ඔව්හු ඇස් ඔසවා බලා, යේසුස්වහන්සේ හැර වෙන කිසිවෙකු නුදුටුවෝය. ඔවුන් කන්දෙන් බසින කල යේසුස්වහන්සේ ඔවුන්ට අණකරමින්: මනුෂ්‍ය පුත්‍රයා මළවුන්ගෙන් නැගිටින තුරු මේ දර්ශනය කාටවත් නොකියන්නැයි කීසේක. උන්වහන්සේගේ ගෝලයෝ කථාකොට: එසේවී නම් එලියා පළමුවෙන් එන්ට ඕනෑයයි ලියන්නෝ කුමක් නිසා කියන්නෝදැයි උන්වහන්සේගෙන් ඇසුවෝය. උන්වහන්සේ උත්තරදෙමින්: එලියා එන්නේමය, ඇවිත් සියල්ල නැවත පිහිටුවන්නේය. නුමුත් නුඹලාට කියමි–එලියා ආවේය, ඔව්හු ඔහු නෑඳින, යමක් යමක් කරන්ට කැමතිවූවෝද ඒ ඒ දේ ඔහුට කළෝය. එසේම මනුෂ්‍ය පුත්‍රයාත් ඔවුන්ගෙන් පීඩා විඳින්නේයයි ඔවුන්ට කීසේක. උන්වහන්සේ යොහන් බව්තීස්ත ගැන තමුන්ට කථාකළ බව එකල ගෝලයෝ තේරුම්ගත්තෝය.