ශු. මතෙව් 15:21-31
ශු. මතෙව් 15:21-31 SROV
යේසුස්වහන්සේ එයින් පිටත්ව තීර් හා සීදොන්හි පළාත්වලට ගියසේක. බලව, කානානිය ස්ත්‍රියෙක් එහි සීමාවල සිට පිටත්ව ඇවිත්: දාවිත්ගේ පුත්‍රවූ ස්වාමිනි, මට කරුණාකළ මැනව; මාගේ දුව බලවත්ලෙස යක්ෂාවේශව සිටින්නීයයි කීවාය. නුමුත් උන්වහන්සේ ඈට වචනයකින්වත් උත්තරයක් දුන්නේ නැත. උන්වහන්සේගේ ගෝලයෝ ඇවිත්: මෑ අප පස්සේ මොරගසන බැවින් යන්ට හැරිය මැනවයි උන්වහන්සේගෙන් ඉල්ලුවෝය. නුමුත් උන්වහන්සේ උත්තරදෙමින්: ඉශ්‍රායෙල් වංශයේ නැතිවුණු බැටළුවන් වෙතට මිස අන්‍යයන් වෙතට මම එවනු නොලද්දෙමියි කීසේක. නුමුත් ඈ ඇවිත් උන්වහන්සේට නමස්කාරකොට: ස්වාමිනි, මට පිහිටවුව මැනවයි කීවාය. උන්වහන්සේ උත්තරදෙමින්: දරුවන්ගේ රොටි රැගෙන බල්ලන්ට දැමීම නුසුදුසුයයි කීසේක. නුමුත් ඈ කථාකොට: එසේය, ස්වාමිනි, බල්ලෝ පවා උන්ගේ ස්වාමිවරුන්ගේ මේසයෙන් වැටෙන කැබෙලි කතියි කීවාය. එවිට යේසුස්වහන්සේ ඈට උත්තරදෙමින්: ස්ත්‍රිය, නුඹේ ඇදහිල්ල මහත්ය. නුඹේ කැමැත්ත ලෙසම ඔබට වේවයි කීසේක. ඒ පැයේ පටන් ඇගේ දුව සුවපත්වූවාය. යේසුස්වහන්සේ එයින් පිටත්ව ගලීලයේ මුහුද ළඟට ගොස් කන්දට නැගී එහි වැඩහුන්සේක. බොහෝ සමූහයෝ කොරුන්, අන්ධයන්, ගොළුවන්, අබ්බාගාතයන් හා වෙනත් බොහෝ දෙනා රැගෙන යේසුස්වහන්සේ ළඟට ඇවිත්, උන්වහන්සේගේ පාමුල ඔවුන් තැබුවෝය; උන්වහන්සේ ඔවුන්ට සුවකළසේක. ඒ නිසා ගොළුවන් කථාකරන බවත් අබ්බාගාතයන් සුවවී ඉන්න බවත් කොරුන් ඇවිදින බවත් අන්ධයන්ට ඇස් පෙනෙන බවත් සමූහයෝ දැක, පුදුමව, ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේට ප්‍රශංසාකළෝය.


