ශු. මතෙව් 15:1-11

ශු. මතෙව් 15:1-11 SROV

එකල ඵරිසිවරුද ලියන්නෝද යෙරුසලමෙන් යේසුස්වහන්සේ ළඟට ඇවිත්: ඔබගේ ගෝලයෝ වැඩිමහල්ලන්ගේ පරම්පරාගත නියෝග කඩකරන්නේ මක්නිසාද? ඔව්හු කෑම කන විට අත් නොසෝදා කතියි කීවෝය. උන්වහන්සේ ඔවුන්ට උත්තරදෙමින්: නුඹලාත් නුඹලාගේ පරම්පරාගත නියෝග නිසා දෙවියන්වහන්සේගේ ආඥාව කඩකරන්නේ මක්නිසාද? නුඹේ පියාටත් මවුටත් ගෞරවකරව; පියා ගැන හෝ මවු ගැන හෝ අගුණ කියන්නා මැරුම්කෑ යුතුමයයි දෙවියන්වහන්සේ කීසේක. එහෙත්: කවරෙක් නුමුත් පියාට හෝ මවුට හෝ කථාකොට–මාගෙන් ඔබට ප්‍රයෝජන වෙන්ට පුළුවන්ව තිබුණු දේ දෙවියන්වහන්සේට දෙනලදැයි ඔවුන්ට කියන්නේ නම්, ඔහු විසින් පියාට ගෞරව නොකර සිටිය යුතුයයි නුඹලා කියන්නෝය. මෙසේ නුඹලා නුඹලාගේ පරම්පරාගත නියෝග නිසා දෙවියන්වහන්සේගේ වචනය අවලංගුකළහුය. වංචාකාරයෙනි, යෙසායා නුඹලා ගැන කථාකොට: මේ සෙනඟ තොල්වලින් මට ගෞරවකරති; නුමුත් ඔවුන්ගේ සිත මා කෙරෙන් දුරුව තිබේ. මනුෂ්‍යයන්ගේ ශික්ෂාවන් ගුරුකම්කොට උගන්වමින්, ඔවුන් මට නමස්කාරකරන්නේ නිරර්ථකයේයයි අනාගත වචන මනාකොට කීයේයයි කීසේක. එවිට උන්වහන්සේ සමූහයා කැඳවා ඔවුන්ට කථාකොට: නුඹලා අසා තේරුම්ගන්න. කටට ඇතුල්වෙන දෙයින් මනුෂ්‍යයා අපවිත්‍රවෙනවා නොව, මනුෂ්‍යයා අපවිත්‍ර වෙන්නේ කටින් පිටවෙන දෙයින්යයි කීසේක.

ශු. මතෙව් 15:1-11 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය