ශු. මතෙව් 13:24-47

ශු. මතෙව් 13:24-47 SROV

උන්වහන්සේ තවත් උපමාවක් ඔවුන් ඉදිරියෙහි දක්වමින්: තමාගේ කෙතෙහි හොඳ බීජ වපුළ මනුෂ්‍යයෙකුට ස්වර්ගරාජ්‍යය සමානකරනු ලැබේ. මනුෂ්‍යයන් නිදාසිටියදී ඔහුගේ සතුරා ඇවිත් තිරිඟු අතරේ කිරිඳි වපුරා ගියේය. කොළ වැඩී කරල් හටගත් කල කිරිඳිත් පෙනුණේය. එවිට ගෙදර ස්වාමියාගේ දාසයෝ ඇවිත්: ස්වාමිනි, ඔබගේ කෙතෙහි ඔබ හොඳ බීජ වපුළා නොවේද? එසේවී නම් කිරිඳ කොයින් දැයි ඔහුට කීවෝය. සතුරෙක් මේක කරලා තිබේයයි ඔහු කීවේය. එවිට දාසයෝ කථාකොට: එසේවී නම් අප ගොස් ඒවා උදුරාදමනවාට ඔබ කැමතිදැයි ඔහුගෙන් ඇසුවෝය. එහෙත් ඔහු උත්තරදෙමින්: එසේ නොකරන්න; නුඹලා කිරිඳි උදුරන කල තිරිඟුත් ඒ සමඟ ඉදිරෙන්ට පුළුවන. කපන කාලය දක්වා දෙවගේම එකට වැඩෙන්ට අරින්න. කපන කාලයේදී–පළමුකොට කිරිඳි එකතුකර දවන පිණිස මිටි බඳින්න. නුමුත් තිරිඟු මාගේ අටුවෙහි රැස්කරන්නැයි කපන්නන්ට කියන්නෙමියි කීවේයයි කීසේක. උන්වහන්සේ තවත් උපමාවක් ඔවුන් ඉදිරියේ දක්වමින්: මනුෂ්‍යයෙකු විසින් අරගෙන තමාගේ කෙතෙහි වපුළ අබ ඇටයකට ස්වර්ගරාජ්‍යය සමානය. ඒක සියලුම බීජවලට වඩා කුඩා නුමුත් වැඩුණු කල පළාගස්වලට වඩා මහත්ව, ආකාශ පක්ෂීන් ඇවිත් එහි අතුවල ලගින තරම් ගසක් වන්නේයයි කීසේක. උන්වහන්සේ තවත් උපමාවක් කියනසේක්: ස්ත්‍රියෙකු විසින් පිටි නැළි තුනක් සහමුලින්ම පිපෙන තුරු එහි දමා තිබූ මුහුන්වලට ස්වර්ගරාජ්‍යය සමානයයි කීසේක. යේසුස්වහන්සේ මේ සියල්ල සමූහයන්ට උපමාවලින් කථාකළසේක; උපමාවක් නැතුව කිසිවක් ඔවුන්ට කථානොකළසේක. මෙසේ වූයේ– උපමාවලින් මාගේ මුඛය අරින්නෙමි; ලෝකයේ පටන්ගැන්මේ සිට සැඟවී තිබුණු කාරණා ප්‍රකාශකරන්නෙමියි අනාගතවක්තෘහු කරණකොටගෙන කියනලද කාරණා සම්පූර්ණ වන පිණිසය. එවිට උන්වහන්සේ සමූහයන් යන්ට හැර ගෙට ගියසේක. ගෝලයෝ උන්වහන්සේ ළඟට ඇවිත්: කෙතේ කිරිඳිවල උපමාව අපට තෝරාදුන මැනවයි කීවෝය. උන්වහන්සේ උත්තරදෙමින්: හොඳ බීජ වපුරන තැනැත්තේ නම් මනුෂ්‍ය පුත්‍රයාය; කෙත නම් ලෝකයය; හොඳ බීජ නම් රාජ්‍යයේ පුත්‍රයෝය; කිරිඳි නම් නපුරාගේ පුත්‍රයෝය; ඒවා වපුළ සතුරා නම් යක්ෂයාය. කපන කාලය නම් ලෝකාන්තිමයය; කපන්නෝ නම් දේවදූතයෝය. එබැවින් කිරිඳි එක්කොට ගින්නෙන් දවන්නාක් මෙන් ලෝකාන්තිමයේදී වන්නේය. මනුෂ්‍ය පුත්‍රයා තමන් දූතයන් එවනසේක, ඔව්හු බාධා උපදවන සියල්ලද අයුතුකම් කරන්නන්ද උන්වහන්සේගේ රාජ්‍යයෙන් එක්කොට, ගිනි උදුනෙහි හෙළන්නෝය. එහිදී හැඬීමද දත්මිටිකෑමද වන්නේය. එකල ධර්මිෂ්ඨයෝ තමුන්ගේ පියාණන්ගේ රාජ්‍යයෙහි සූර්යයා මෙන් බබළන්නෝය. ඇසීමට කන් ඇත්තේ අසාවා. කෙතෙහි සඟවා තිබුණු වස්තුවකට ස්වර්ගරාජ්‍යය සමානය; මනුෂ්‍යයෙකුට ඒක සම්බවිය; ඔහු ඒක සඟවාතබා, ඒ ගැන සන්තෝෂයෙන් ගොස්, තමා සන්තක සියල්ල විකුණා ඒ කෙත මිලදී ගන්නේය. තවද හොඳ මුතු සොයන්නාවූ වෙළෙන්දෙකුට ස්වර්ගරාජ්‍යය සමානය. ඉතා අනර්ඝවූ එක මුතු ඇටයක් ඔහුට සම්බවී, ඔහු ගොස් තමා සන්තක සියල්ල විකුණා ඒක මිලදී ගත්තේය. තවද මුහුදේ හෙළුවාවූද සියලු වර්ගවල මසුන් අසුවුණාවූද දැලකට ස්වර්ග රාජ්‍යය සමානය.