ශු. මතෙව් 10:1-15

ශු. මතෙව් 10:1-15 SROV

තවද උන්වහන්සේ තමන් ගෝලයන් දොළොස්දෙනා තමන් ළඟට කැඳවා, අශුද්ධාත්මයන් දුරු කරන්ට ඔවුන් කෙරෙහිද සියලු ආකාර ලෙඩ සහ සියලු ආකාර රෝග සුවකිරීමටද ඔවුන්ට බලය දුන්සේක. ප්‍රේරිතයන් දොළොස්දෙනාගේ නාමවල් මේය: පළමුවෙනුව පේතෘස් නම්ලත් සීමොන් සහ ඔහුගේ සහෝදරවූ අන්දෘය; සෙබදීගේ පුත්‍රවූ යාකොබ් සහ ඔහුගේ සහෝදරවූ යොහන්ය; පිලිප් සහ බර්තොලොමෙව්ය; තෝමස් සහ සුංගම් අයකරන්නා වන මතෙව්ය; අල්පෙවුස්ගේ පුත්‍රවූ යාකොබ් සහ තද්දියස්ය; කානානීය සීමොන් සහ උන්වහන්සේව පාවාදුන් යූදස් ඉස්කාරියොත්ය. යේසුස්වහන්සේ මේ දොළොස්දෙනා යවමින් ඔවුන්ට මෙසේ අණකළසේක: කෙසේද? අන්‍ය ජාතීන්ගේ කිසි මාවතකට නොගොස්, සමාරියයන්ගේ කිසි නුවරකට ඇතුල් නොවී, ඉශ්‍රායෙල් වංශයේ නැතිවූ බැටළුවන් වෙතට යන්න. නුඹලා යමින්–ස්වර්ගරාජ්‍යය ළංවී තිබේය කියා දේශනාකරන්න. රෝගීන් සුවකරන්න, මළවුන් නැගුටුවන්න, කුෂ්ඨ රෝගීන් පවිත්‍රකරන්න, යක්ෂයන් දුරුකරන්න. නුඹලා නොමිලයේ ලැබුවහුය, නොමිලයේ දෙන්න. නුඹලාගේ පසුම්බිවල රන්වත් රිදීවත් පිත්තලවත් නොගන්න. ගමනට මල්ලක්වත් කබා දෙකක්වත් වහන්වත් සැරයටියක්වත් සපයා නොගන්න. මක්නිසාද වැඩකරුවාට තමාගේ කෑම ලැබෙන්ට යුතුය. නුඹලා කොයි නුවරකට නුමුත් ගමකට නුමුත් ඇතුල්වූ කල එහි සුදුස්සා කවුදැයි විභාගකොට, පිටත්ව යන තුරු එහිම නැවතී සිටින්න. ගෙදරට ඇතුල්වන විට ඊට ආචාරකරන්න. ගෙයි වැසියන් සුදුසු නම්, නුඹලාගේ සමාදානය ඒ පිටට පැමිණේවා. නුමුත් නුසුදුසු නම් නුඹලාගේ සමාදානය නැවත නුඹලා කරා පැමිණේවා. කවරෙක් නුමුත් නුඹලා පිළිගන්නේවත් නුඹලාගේ වචන අසන්නේවත් නැත්නම්, ඒ ගෙදරින් හෝ නුවරින් හෝ පිටත්ව යන කල නුඹලාගේ පාදවල ධූලි ගසාදමන්න. සැබවක් නුඹලාට කියමි: විනිශ්චය දවසේදී ඒ නුවරට වඩා සොදොම් සහ ගොමොරා රටට ඉවසීම පහසුවන්නේය.

මෙයට අදාළ වීඩියෝ