ශු. ලූක් 6:20-38

ශු. ලූක් 6:20-38 SROV

එවිට උන්වහන්සේ තමන් ගෝලයන් දෙසට ඇස් ඔසවා කියනසේක්: දිළිඳුවූ නුඹලා ආශීර්වාදලද්දෝය. මක්නිසාද දෙවියන්වහන්සේගේ රාජ්‍යය නුඹලාගේය. දැන් බඩගිනි ඇති නුඹලා ආශීර්වාදලද්දෝය. මක්නිසාද නුඹලා තෘප්තියට පැමිණෙන්නහුය. දැන් හඬන්නාවූ නුඹලා ආශීර්වාදලද්දෝය. මක්නිසාද නුඹලා සිනාසෙන්නහුය. මනුෂ්‍ය පුත්‍රයා නිසා මනුෂ්‍යයන් නුඹලාට වෛරකරන කලද තමුන්ගේ සමාගමනේ නුඹලා වෙන්කර, නුඹලාට නින්දාකර, නුඹලාගේ නාමය නපුරුයයි පහකරන කලද නුඹලා ආශීර්වාදලද්දෝය. ඒ දවසේදී ප්‍රීතිවෙන්න, ප්‍රීතියෙන් නටන්න. මක්නිසාද ස්වර්ගයෙහි නුඹලාගේ විපාකය මහත්ය. ඔවුන්ගේ පියවරු අනාගතවක්තෘවරුන්ටත් එසේම කළෝය. නුමුත් ධනවන්තවූ නුඹලාට දුක්වේ! මක්නිසාද නුඹලාගේ සැනසීම නුඹලාට ලැබී තිබේ. දැන් තෘප්තියට පැමිණ සිටින නුඹලාට දුක්වේ! මක්නිසාද නුඹලා බඩගිනිවීමට පැමිණෙන්නහුය. දැන් සිනාසෙන්නාවූ නුඹලාට දුක්වේ! මක්නිසාද නුඹලා ශෝකව අඬන්නහුය. සියලු මනුෂ්‍යයන් නුඹලා ගැන හොඳ කියන කල නුඹලාට දුක්වේ! මක්නිසාද ඔවුන්ගේ පියවරු බොරු අනාගතවක්තෘන්ටත් එසේම කළෝය. නුමුත් අසන්නාවූ නුඹලාට මම කියමි: නුඹලාගේ සතුරන්ට ප්‍රේමකරන්න, නුඹලාට වෛරකරන්නන්ට යහපත කරන්න, නුඹලාට ශාපකරන්නන්ට ආශීර්වාදකරන්න, නුඹලාට නින්දාකරන්නන් උදෙසා යාච්ඤාකරන්න. නුඹේ එක කම්මුලකට ගසන්නාට අනිකත් හරවන්න; නුඹේ උතුරු සළුව උදුරාගන්නාගෙන් අඳනා රෙද්දත් වලක්වා නොගන්න. නුඹෙන් ඉල්ලන සියල්ලන්ට දෙන්න; නුඹේ දේපළ පැහැරගන්නාගෙන් නැවත ඒවා නොඉල්ලන්න. මනුෂ්‍යයන් විසින් නුඹලාට යම්සේ ක්‍රියාකරනවාට නුඹලා කැමතිද, නුඹලාත් ඔවුන්ට එසේම කරන්න. තවද නුඹලාට ප්‍රේමකරන්නන්ටම නුඹලාත් ප්‍රේමකරනවා නම් නුඹලාට කවර ස්තුතියක්ද? මක්නිසාද පව්කාරයෝ පවා තමුන්ට ප්‍රේමකරන්නන්ට ප්‍රේම කරති. නුඹලාට යහපත කරන්නන්ටම නුඹලාත් යහපත කරනවානම් නුඹලාට කවර ස්තුතියක්ද? මක්නිසාද පව්කාරයෝ පවා එසේම කරති. නුඹලා නැවත ලබන්ට බලාපොරොත්තුවෙන් ණයට දෙන්නහු නම් නුඹලාට කවර ස්තුතියක්ද? පව්කාරයෝ පවාදුන් පමණ නැවත ලබන පිණිස පව්කාරයන්ට ණයට දෙති. නුමුත් නුඹලාගේ සතුරන්ට ප්‍රේමකරන්න, යහපත කරන්න, සැක නොසිතා ණයට දෙන්න; එවිට නුඹලාගේ විපාකය මහත්වන්නේය; නුඹලා මහෝත්තමයාණන්ගේ පුත්‍රයෝ වන්නහුය. මක්නිසාද කෘතෝපකාර නොසලකන්නන්ටද දුෂ්ටයන්ටද උන්වහන්සේ කරුණාවන්තව සිටිනසේක. නුඹලාගේ පියාණන්වහන්සේ දයාවන්තව සිටින්නාක්මෙන් නුඹලාත් දයාවන්තව සිටින්න. විනිශ්චය නොකරන්න, එවිට නුඹලාත් විනිශ්චයකරනු නොලබන්නහුය. වරදට පත් නොකරන්න; එවිට නුඹලාත් වරදට පත්කරනු නොලබන්නහුය. මුදාහරින්න, එවිට නුඹලාත් මුදාහරිනු ලබන්නහුය. දෙන්න, එවිට නුඹලාටත් දෙනු ලැබෙන්නේය; ඔව්හු ඔබමින් සොලවමින් උතුරුවමින් නුඹලාගේ ඔඩොක්කුවලට හොඳාකාර මැනදෙන්නෝය. මක්නිසාද නුඹලා යම් මිම්මකින් මැනදෙන්නහුද එයින්ම නැවත නුඹලාටත් මැනදෙනු ලැබෙන්නේයයි කීසේක.