ශු. ලූක් 23:13-25

ශු. ලූක් 23:13-25 SROV

පිලාත් නායක පූජකයන්ද මුලාදෑනීන්ද සෙනඟද රැස්කරවා, ඔවුන්ට කියනුයේ: නුඹලා මේ මනුෂ්‍යයා සෙනඟ මුළාකරන්නෙක් කියා මා ළඟට ගෙනාවහුය. බලව, නුඹලා ඉදිරියෙහිම මා විසින් ඔහු විභාගකළ විට, නුඹලා විසින් මොහු කෙරෙහි තබන ලද ඒ වරදවලින් කිසිවක් ඔහු අත මට සම්බ නූණේය. හෙරොද්ටත් සම්බවුණේ නැත. මක්නිසාද ඔහු අප ළඟට මොහු නැවත එවීය; බලව, මරණයට සුදුසු කිසිවක් ඔහු විසින් නොකරනලද්දේය. එබැවින් මම ඔහුට තළා, නිදහස්කොට හරිමියි කීයේය. මක්නිසාද ඒ මංගල්‍යයේදී එක්කෙනෙකු ඔහු විසින් ඔවුන්ට නිදස්කර දියයුතුව තිබුණේය. නුමුත් ඔවුන් සියල්ලෝම: මොහු පහකොට බරබ්බස් අපට නිදහස්කර දුනමැනවයි එක්ව මොරගැසුවෝය. බරබ්බස් වනාහි නුවරදී කළ කැරළිගැසීමක්ද මිනීමැරීමක්ද නිසා හිරගෙයි දමනලද කෙනෙක්ය. පිලාත් යේසුස්වහන්සේ මුදාහරින්ට කැමතිව, නැවතත් ඔවුන්ට කථාකෙළේය; නුමුත් ඔව්හු: මොහු කුරුසියෙහි ඇණගැසුව මැනව, කුරුසියෙහි ඇණගැසුව මැනව, කියා මොරගැසුවෝය. ඔහු තුන්වෙනි වර කථාකොට: කිමෙක්ද? මොහු කවර නපුරක් කෙළේද? මරණයට සුදුසු කිසිදෙයක් මොහු අත මට සම්බ නූණේය. එබැවින් මොහුට තළා මුදාහරිමියි ඔවුන්ට කීවේය. නුමුත් උන්වහන්සේ කුරුසියෙහි ඇණගසන ලෙසම ඔව්හු වඩ වඩා ශබ්දනගා ඉල්ලා සිටියෝය. තවද ඔවුන්ගේ මොරගැසීමට ජය ලැබුණේය. පිලාත් ඔවුන් ඉල්ලූ දේ ඉෂ්ට වෙන ලෙස තීන්දුව දුන්නේය. තවද ඔහු කැරළිගැසීමත් මිනීමැරීමත් නිසා හිරගෙයිලා සිටියාවූ ඔවුන් ඉල්ලුවාවූ තැනැත්තා ඔවුන්ට මුදාහැර, යේසුස්වහන්සේ ඔවුන්ගේ කැමැත්තට භාරදුන්නේය.