ශු. ලූක් 22:55-62

ශු. ලූක් 22:55-62 SROV

එහෙත් පේතෘස් ඈතින් පස්සේ ගියේය. ඔවුන් ශාලාව මැද ගිනි පත්තුකොට, එකතුව හිඳගෙනඋන් කල, පේතෘස් ඔවුන් මැද හිඳගත්තේය. එවිට එක් යෞවනියෙක් ඔහු ගිනි ළඟ ඉන්නවා දැක, ඔහු දෙස හොඳට බලා: මොහුත් ඔහු සමඟ සිටියේයයි කීවාය. නැත, ස්ත්‍රිය, මම ඔහු නාඳුනමියි ඔහු කීවේය. ස්වල්ප වේලාවකට පසු වෙන කෙනෙක් ඔහු දැක: නුඹත් ඔවුන්ගෙන් එක්කෙනෙක්යයි කීවේය. පේතෘස්ද: මනුෂ්‍යය, මම එසේ නොවෙමියි කීවේය. පැයකට පමණ පසු තවත් එක්කෙනෙක් කථාකොටඃ සැබෑවටම මොහුත් ඔහු සමඟ සිටියේය. මක්නිසාද මොහු ගලීලෙයකැයි සැක නොකොට ස්ථිරලෙස කීවේය. පේතෘස්ද: මනුෂ්‍යය, නුඹ කියන දේ නොදනිමියි කීවේය. එකෙණෙහිම, ඔහු කථාකරද්දීම, කුකුළා හඬලීය. ස්වාමීන්වහන්සේ හැරී පේතෘස් දෙස බැලූසේක. පේතෘස්ද: අද කුකුළා හඬලන්ට පළමුවෙන් ඔහු නාඳුනමියි තුන් වරක් නුඹ මා ගැන කියන්නෙහියයි ස්වාමීන්වහන්සේ ඔහුට කී වචනය සිහිකොට, පිටතට ගොස්, බලවත් දුකින් හැඬුවේය.